ඊශ්‍රායලය සහ ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා සංවිධානය අතර සති හයකට වැඩි කාලයක් තිස්සේ පවතින දරුණු ගැටුම් නිමාවකට පත් කිරීමේ සටන් විරාමයක් පිළිබඳව ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය ඊයේ (15) සාකච්ඡා පවත්වා තිබේ. වසර 34කට පසු ප්‍රථම වතාවට ඊශ්‍රායල සහ ලෙබනන නායකයන් අතර අද (16) දිනයේ සෘජු සාකච්ඡා පැවැත්වෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කළ අතර, ඉතා ඉක්මනින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් වනු ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පල වේ.
මෙම සාම සාකච්ඡාවල තීරණාත්මක මැදිහත්කරුවෙකු ලෙස පකිස්ථානය කටයුතු කරන අතර, පකිස්ථාන හමුදා ප්‍රධානී ජෙනරාල් අසීම් මුනීර් මේ වන විට ටෙහෙරානය වෙත පැමිණ සිටී. දෙපාර්ශ්වය අතර පවතින මතභේද සමනය කරමින් තීරණාත්මක හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කර ලෝක ආර්ථිකයට එල්ල වී ඇති පීඩනය අවම කිරීම සාකච්ඡාවල ප්‍රධාන අරමුණ වී ඇත. සාමූහික සාකච්ඡා සාර්ථක මට්ටමක පවතින බව ධවල මන්දිර ප්‍රකාශිකා කැරොලයින් ලීවිට් ද සඳහන් කළ අතර, මෙම සාමකාමී වාතාවරණය හමුවේ ඇමෙරිකානු කොටස් වෙළෙඳපොළ ද ඉහළ වර්ධනයක් පෙන්නුම් කර තිබේ.














