මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම පිටුපස කිසියම් කුමන්ත්රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූවාද යන්න පිළිබඳව මේ වන විට පුළුල් විමර්ශන සිදු කෙරෙමින් පවතින බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි. මහනුවර පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
බන්ධනාගාර තුළ පවතින අධික තදබදය නඩු ප්‍රමාද වීම, වාර්තා නොලැබීම සහ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් ඉහළ යාම වැනි කරුණු නිසා නිර්මාණය වූ දීර්ඝකාලීන ගැටලුවක් බවත්, එය ගැටුම් ඇති වීමට බලපාන ප්‍රධාන සාධකයක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම තදබදයට ක්ෂණික පියවරක් ලෙස, පවතින රජයේ සැලසුම්වලට අනුව ගාල්ල මහමෝදර පැරණි රෝහල සහ පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය තාවකාලික බන්ධනාගාර ලෙස පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇත. කෙසේ වෙතත්, මෙය මාස කිහිපයකට පමණක් සීමා වූ තාවකාලික ක්‍රියාමාර්ගයක් බවත්, බන්ධනාගාර තදබදය විසඳීම සඳහා ස්ථිර විසඳුම් ලැබුණු වහාම එම ස්ථාන ඉවත් කර ගැනීමට රජය අපේක්ෂා කරන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
පැරණි බෝගම්බර බන්ධනාගාරය සහ මහමෝදර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීම සඳහා අදාළ ගැසට් නිවේදන ඉකුත් දිනවල නිකුත් කෙරිණි.
















