නීති විරෝධී වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට ගිය මෙහෙයුමකදී අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත් වූ විශේෂ කාර්ය බලකායේ පොලිස් සැරයන් ඩී.ජී. රණසිංහ මහතා වෙත උප පොලිස් පරීක්ෂක (SI) තනතුර දක්වා පශ්චාත් උසස්වීම් පිරිනැමීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇත.
කන්තලේ විශේෂ කාර්ය බලකා කඳවුරට අනුයුක්තව සේවය කළ රණසිංහ මහතා, කින්නියා, මුලුක්කුසෙට්ටි ප්‍රදේශයේ නීති විරෝධී වැලි ජාවාරම්කරුවන් පිරිසක් ලුහුබැඳ යාමේදී මහවැලි ගඟේ ප්‍රචණ්ඩ ජල පහරට හසුවීමෙන් පසුගිය 12 වැනිදා අවාසනාවන්ත ලෙස මියගියේය. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛවලට අනුකූලව, රටේ නීතිය හා සාමය මෙන්ම පරිසරය සුරැකීම වෙනුවෙන් සිය දිවි පරදුවට තබා කටයුතු කළ මෙම නිලධාරියාගේ සේවය අගයමින් මෙම උසස්වීම ලබා දී තිබේ.
මෙම පශ්චාත් උසස්වීම 2026 ජූලි 12 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර ඇති අතර, පොලිස් දෙපාර්තමේන්තුව සිය උපහාරය එම වීරෝදාර නිලධාරියා වෙත පුද කර සිටී.
















