මීගමුව බන්ධනාගාරයේ ඇති වූ දරුණු ප්‍රචණ්ඩකාරී තත්ත්වය ඉදිරියේදී දිවයිනේ සෙසු බන්ධනාගාර තුළ ද ඇති වීමේ දැඩි අවදානමක් පවතින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කැඳවුම්කරු සුදේශ් නන්දිමාල සිල්වා මහතා පවසයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව අවධාරණය කළේය.
බන්ධනාගාර පද්ධතිය තුළ පවතින දැඩි තදබදය සහ අවම පහසුකම් මෙම ගැටුම්වලට මූලික හේතුව වී ඇති බව පෙන්වා දෙන නන්දිමාල මහතා, මීගමුව බන්ධනාගාරයේ පවතින අමානුෂික තත්ත්වය පැහැදිලි කළේය.
රැඳවියන් 600ත් 650ත් අතර ප්‍රමාණයක් සඳහා පහසුකම් ඇති මීගමුව බන්ධනාගාරයේ මේ වන විට 2000කට අධික පිරිසක් රඳවා සිටින බවත්, වැසිකිළි පහසුකම් පවා පවතින්නේ රැඳවියන් 250කට හෝ 300කට එකක් වැනි ඉතාම අවම මට්ටමක බවත් ඔහු සඳහන් කළේය. ඇතැම් රැඳවියන්ට වැසිකිළි තුළ නිදා ගැනීමට සිදුව ඇති බව පෙන්වා දෙන ඒ මහතා, මෙම අමානුෂික තත්ත්වයන් නිසා රැඳවියන් මෙන්ම නිලධාරීන් ද දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බව පැවසීය.
එසේම, බන්ධනාගාර පාලනය සඳහා අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාවෙන් දැනට සිටින්නේ හතරෙන් එකක් වැනි සුළු පිරිසක් බවත්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සහ දරුණු අපරාධකරුවන් වර්ගීකරණයකින් තොරව එකට රඳවා තැබීම ගැටුම් උත්සන්න වීමට හේතු වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
රජය මෙම සිදුවීම හුදෙක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගැටුමක් ලෙස හුවා දක්වමින් සැබෑ ගැටලුව යටපත් කිරීමට උත්සාහ කරන බවට චෝදනා කළ නන්දිමාල මහතා, මීට පෙර වැලිකඩ සහ මහර බන්ධනාගාරවල සිදු වූ සිදුවීම්වලදී ද රජයන් වගකීමෙන් බැහැර වූ බව සිහිපත් කළේය. බන්ධනාගාර තුළ පවතින මෙම අර්බුදකාරී තත්ත්වයට රජය කඩිනම් විසඳුම් ලබා නොදුන්නොත්, රැඳවියන්ගේ සහ නිලධාරීන්ගේ ඥාතීන් සමඟ එක්ව දැඩි විරෝධතාවල නිරත වන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.















