පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ සලකා බැලුණි.
මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය වැදගත් කරුණු කිහිපයක් අධිකරණය හමුවේ අනාවරණය කළාය. පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා අසාද් මව්ලානා නැමැත්තා තමන් හඳුනන්නේ නැති බව ප්‍රකාශ කළද, ඔවුන් දෙදෙනා එකට සිටින ඡායාරූප කිහිපයක් නීතිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. ඉනියභාරතී නැමැති පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ලබා දී ඇති ප්‍රකාශයකට අනුව, 2019 වසරේදී හිටපු ජනාධිපතිවරයාගේ මිරිහාන පිහිටි නිවසේදී අසාද් මව්ලානා ඇතුළු පිරිසක් ඔහුව හමුවී ඇති බවද හෙළි විය.
මෙම පෙත්සම මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් පිළිබඳව කරුණු මතු කර ඇති බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වැනි වගන්තිය ප්‍රකාරව එවැනි කරුණු විභාග කිරීමේ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බව නීතිපති පාර්ශවය තර්ක කළේය. ඒ අනුව මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙස නීතිපතිවරයා ඉල්ලා සිටියේය.
හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කළේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ කිසිදු කොමිෂන් සභා වාර්තාවක තම සේවාදායකයාට එරෙහිව කරුණු අනාවරණය වී නොමැති බවත්, ඡායාරූපයක සිටි පමණින් පුද්ගලයෙකු අපරාධයකට සම්බන්ධ යැයි නිගමනය කළ නොහැකි බවත්ය. අසාද් මව්ලානා නැමැත්තා කාදිනල් හිමිපාණන් සහ තවත් දේශපාලනඥයන් සමඟ සිටින ඡායාරූප ද පවතින බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම පෙත්සම පිළිබඳ වැඩිදුර දේශන ජූලි මස 09 වැනිදා නැවත කැඳවීමට අධිකරණය නියම කළේය.















