කොළඹ කොටුව සහ මඩකලපුව අතර ධාවනය වන “මීනගයා” දුම්රිය තුළ නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කළ වෙළෙන්දෙකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 100,000ක දඩයක් නියම කරන ලදී. රුපියල් 100ක උපරිම සිල්ලර මිලක් සහිත ලීටරයේ ජල බෝතලයක් රුපියල් 160 බැගින් අලෙවි කරමින් මගීන්ගෙන් රුපියල් 60ක අමතර මුදලක් අය කිරීම සම්බන්ධයෙන් ඔහු වරදකරු විය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරියෙකු සාමාන්‍ය මගියෙකු ලෙස වෙස්වලාගෙන සිදු කළ වැටලීමකින් අනතුරුව මෙම නඩු පැවරීම සිදු කර ඇත. පාරිභෝගික ආරක්ෂණ රෙගුලාසි උල්ලංඝනය කරමින් මගීන් අයුතු ලෙස සූරාකෑම සැලකිල්ලට ගත් අධිකරණය ඊයේ (28) මෙම දඩය නියම කිරීමට පියවර ගත්තේය.












