මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් කරුණු විමසමින් ‘දිනන දකුණ’ සංවිධානය විසින් ප්‍රශ්න 5ක් ඇතුළත් ලිපියක් යොමු කර තිබේ. මෙම ලිපිය හරහා ඔවුන් ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත්තේ අදාළ කරුණු සම්බන්ධයෙන් සාක්ෂි සහිත සෘජු පිළිතුරු ලබා දෙන ලෙසයි.
එම සංවිධානය විසින් යොමු කරන ලද ප්‍රශ්නාවලියට අනුව, ඔබ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගත් නිශ්චිත දිනය කවදාද යන්නත්, ඔබ එම ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත් කරගනු ලැබුවේ නම් එය සිදුකළ නිශ්චිත දිනය කවදාද යන්නත් පළමුව ප්‍රශ්න කර ඇත. තවද ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අත්හැරීමෙන් පසු ඔබ නැවත ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාගත් දිනය කවදාද යන්නත්, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන අවස්ථාව වන විට ඔබ නිල වශයෙන් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත් කරගෙන තිබුණේද නැතහොත් එය ඉවත් කරගැනීම සඳහා අයදුම්පතක් පමණක් ඉදිරිපත් කර තිබුණේද යන්නත් එහි විමසා තිබේ. අවසාන වශයෙන් දැනට සමාජය තුළ සංසරණය වන 2010.02.03 දිනැති C19090060828 අංකය ඔබගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවයට අදාළ සැබෑ අංකයක්ද නැතහොත් එය නොමග යැවීම සඳහා සංසරණය වන්නක්ද යන්න පිළිබඳව ද එම සංවිධානය පැහැදිලි කිරීමක් ඉල්ලා ඇත.
මෙම ලිපිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැති අතර, උසස් රාජ්‍ය නිලධාරීන්ගේ පුරවැසිභාවය පිළිබඳ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් මෙමගින් යළිත් සමාජ අවධානය යොමුව තිබේ.














