27 April 2024
#දේශීය

මෙවර අයවැය විජ්ජාවක් – සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමය කියයි

ආණ්ඩුව දේශපාලන වාසි වෙනුවෙන් සමෘද්ධිලාභීන්ගේ ඡන්දය ඉලක්ක කර ඉදිරිපත් කල 2019 මෙවර අය වැය සමෘද්ධිලාභීන් රවටන විජ්ජාවක් බව සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමය පවසයි.

එම සංගමය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ 2019 වර්ෂය වෙනුවෙන් පසුගිය 05 වනදා දින මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කල ජනතාවට ශක්තියක් දුප්පතුන්ට රැකවරණයක් යන අය වැය, ඉදිරි මැතිවරණ වෙනුවෙන් සමෘද්ධිලාභීන් ඡන්දය අපේක්ෂාවෙන් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ආණුඩුව විසින් ඉදිරිපත් කරන ලද විජ්ජාවක් බවයි.

සමෘද්ධිලාභීන් හට අනිවාර්ය ඉතිරිකිරීමේ ගිණුමෙන් රු.30000.00 මුදලක් වාරික දෙකකින් අප්‍රේල් හා නොවැම්බර් යන මාසයන්හි නිදහස් කරන බවට සිදු කල ප‍්‍රකාශය ඊට කදිම නිදසුනක් බවත් සෑම සමෘද්ධිලාභියෙකු හටම සිය පුද්ගලික ගිණුමට අනිවාර්‍ය ඉතිරි කිරීමක් ලෙස සෑම මසකම සමෘද්ධි සහනාධාරයෙන් මුදලක් බැර වනු ඇති බව සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමය සඳහන් කර සිටි. එසේම මෙම මුදල් ආපසු ලබා ගැනීමට 2013 අංක 01 දරණ සමෘද්ධි පනතෙහි 33(9) වගන්තියට ප‍්‍රකාර සමෘද්ධි ප‍්‍රජාමූල බැංකු කළමණාකාරණ මණ්ඩල අනුමැතිය යටතේ නිකුත් කර ඇති 2018 අංක 02 චක‍්‍රලේඛණය මගීන් රු.25000.00 උපරිමයකට යටත්ව මුදල් ආපසු ගැනීමේ ක‍්‍රමවේදයක් සකස් කර කරනු ඇත.

එකී මුදල් ආපසු ගැනීමේ ක‍්‍රමවේදය ගැටළු පවතින අතර, වයස අවු:70 ඉක්මවීම මුදල් ආපසු ගැනීමට ඇති එක් අවස්ථාවක් වන අතර රෝගී අවස්ථාවන්ට ප‍්‍රතිකාර ගැනීමට මෙම මුදල් නිදහස් කිරීම ඇති අනෙක් අවස්ථාව වෙයි. ඇතැම් නිලධාරීන් සමෘද්ධි ප‍්‍රතිලාභීන් ඉල්ලූම් කරන මුදල ලබා නොදීම හා වයස අවු: 70 යන කාරණය අසාධාරණ බැවින් පවතින මෙම තත්වය දෙපාර්තමේන්තුවෙහි අභ්‍යන්තර චක‍්‍රලේඛ මගීන් නිවරැදි කිරීමට හැකියාව තිබියදී මුදල් අමාත්‍යවරයා විසින් සිය අයවැය කථාවට මෙය ඇතුලත් කිරීම සමෘද්ධිලාභීන්ගේ ඡන්දය ඉලක්ක කර දේශපාලන වාසි වෙනුවෙන් සිදු කරන ලද ප‍්‍රකාශයක් බව මනාව පෙන්නුම් කරන්නක් බව සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමය එම නිවේදනයේ සඳහන් කර තිබේ.

මෙතෙක් බලයට පත් සෑම ආණ්ඩුවක්ම සිය දේශපාලන උවමනාවෙන් සමෘද්ධි වැඩසටහන යොදා ගැනීම මත අඩු ආදායම්ලාභී ජනතාව හට ඵලදායී ආදායම් උත්පාදන වැඩසටහන් ක‍්‍රියාවට නැංවීමට මෙතෙක් හැකියාවක් නොලැබුන අතර ආණුඩව ඉදිරිපත් කල ජනතාවට ශක්තියක් දුප්පතුන්ට රැකවරණයක් යන මෙවර අය වැයද එවැනි යෝජනාවන් නොවන, හුදෙක් සමෘද්ධිලාභීන්ගේ ඡන්දය අපේක්ෂාවෙන් ඔවුන් රවටන විජ්ජාකාරී අයවැයක් බවත්, ආණුඩුවේ මෙම විජ්ජාවට සමෘද්ධිලාභීන්ට නොරැවටෙන බවටත් වැඩිදුරටත් සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමය සඳහන් කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *