27 April 2024
#දේශීය

මේ ජනවරම ඉවර වෙනකන් ඉන්නවා – ජනපතිවරණයට නොවැම්බර් බව ඇමැති පාඨලි කියයි

ඊළඟට ජනාධිපති මැතිවරණය නොවැම්බර් මාසයේදී පැවැත්වෙන බවත් එය ඔක්තෝම්බර් මාසයේදී ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානාහිමියන් බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසීමෙන් අනතුරුව පැමිණි සිටි මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ” අපිට ජනතාව ජනවරමක් දී තිබෙනවා. ඒ ජනවරම ඉවර වෙනකං අපි ඉන්නවා. අපි කිසිම අවස්ථාවක අපට 2015 ජනාධිපතිවරණයේදී හෝ මහමැතිවරණයේදී ඡන්දය දුන් ජනතාවට නිගා කරන්න අපි ලැහැස්ති නැහැ. නමුත් මේ අවස්ථාව අපි දකිනවා විශේෂ අවස්ථාවක් ලෙස. පක්ෂ භේදයෙන් තොරව සියළු දෙනාම මේ ත‍්‍රස්තවාදය පරාජය කිරීම, ඒ වගේම රටේ සාමය දිනා ගැනීම කියන කටයුතුවලට මැදිහත් වෙන්න ඕනේ කියලා අපි කල්පනා කරනවා.

ඊ ළඟට ජනාධිපති මැතිවරණය එනවා නොවැම්බර් මාසයේදී. ඔක්තෝම්බර් මාසයේදී ජනාධිපතිවරණය ප‍්‍රකාශ කරයි. එදාට ජනතාවට අවස්ථාවක් ලැබෙයි. එතකං මේ ආණ්ඩුව පෙරළන්න, වෙනස් කරන්න කලබල වෙන්න ඕනේ නැහැ. එක එක්කෙනා රාවයන් පතුරුවනවා. හැබැයි අපි එකක් කියන්න ඕනේ, මේ රටේ නිපුණතාවයට, කුසලතාවයට මුල්තැන දෙන රටක්, ජාතික ආරක්‍ෂාව සුරකින රටක් අපි හදන්න ඕනේ. පවුල්වාදයෙන් තොරව, පවුල්වලින් එන පුද්ගලයෝ, ඒ වගේම සුදුසුකම් නැති ගජමිතුරෝ වෙනුවට කුසලතාවය, නිපුණතාවය තිබෙන පිරිස් රාජ්‍ය පාලනය කරන්න සුදුසු කාලය දැන් එළඹිලා තියෙනවා කියන එක කියන්න ඕනේ.

අපි ශ‍්‍රී ලාංකික පුරවැසියෝ, පිටරට පුරවැසියෝ නෙමෙයි. අපි මේ රටේ ඉපදිලා මේ රටේම කටයුතු කරලා මේ රටේම මිය යනවා. ඒ වගේම මුළු ඉතිහාසය පුරාම අපි මේ රටේ ආරක්ෂාව වෙනුවෙන්, මෙරටේ දියුණුව වෙනුවෙන්, ඒ වගේම අපේ අමාත්‍යාංශ හරහා දූෂණයෙන්, වංචාවෙන් තොරව අමාත්‍යාංශ කරලා, ආදර්ශයක් දීපු පිරිසක් හැටියට අපි ඒ අභියෝගය ඉදිරියේදී ජය ගැනීම සඳහා ක්‍රියාකරන බව කිව යුතු “යැයි අමාත්‍යවරයා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *