27 April 2024
#දේශීය #පුවත්

මේ පාලක තන්ත්‍රය පෙරළා දැමුවාම එය ජනතාවට විශාල පිබිදීමක් සහ බලාපොරොත්තුවක් – අනුර දිසානායක

සුද්දා ගියාම එදා සිටි අපේ වැඩිහිටියන්ට මොන තරම් සතුටක් ඇති වෙන්න ඇතිද? මේ පාලක තන්ත්‍රය පෙරළා දැමුවාම ඒ හැඟීමම ජනතාවට විශාල පිබිදීමක් සහ බලාපොරොත්තුවක් ඇති කරවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (24) ජාතික ජන බලවේගයේ ත්‍රිවිධ හමුදා සාමූහික ‘අදිටන’ මහනුවර දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

එහිදී අදහස් පල කල ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ” අප විවිධ වෘත්තිවල වැඩ කරනවා. පාසල් ගුරුවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු, ව්‍යාපාරික මහත්වරු, නීතිඥ මහත්වරු ආදී වශයෙන් කටයුතු කරන අතර, මෙතැන ඉන්නේ මහා යුද්ධයක් තිබියෙදී, ජීවිත පවා නොතකා සුවිශේෂී වෘත්තියක් තෝරා ගත් පිරිසක්. ඒ නිසා ඔබ විශේෂ මිනිස් සමුදායක්. ඔබ ඔබේ වෘත්තීය කාර්යභාරය නිසි ලෙස ඉටු කළත්, අද ඉතිරි වී තිබෙන්නේ සියල්ල කඩාවැටුණු රාජ්‍යයක්. ඒ නිසා අප ඉදිරිපිට තිබෙන්නේ කිරිඇල්ල වෙනුවට කිරිඇල්ලගේ දුව ගෙනෙනවා වාගේ වැඩක් නොවෙයි. රාජපක්‍ෂ වෙනුවට රාජපක්‍ෂ මලයෙක් හෝ පුතෙක් ගේනවා වාගේ වැඩක් නොවෙයි. මේ රට ගොඩනැඟීම සඳහා සත්භාවයෙන් මැදිහත් වන මිනිස් සමූහයකගේ ක්‍රියාකාරිත්වයක් අවශ්‍යව තිබෙනවා. රටක් ලෙස අපට බොහෝ තැන්වල වැරැදී තිබෙනවා. ඉන්දියාවට නිදහස ලබා ගන්නා විට රට ගොඩනැඟීම සඳහා ඒ ජාතික ව්‍යාපාරයට දියුණු දැක්මක් තිබුණා. ආගම් ලෙස ජාතීන් ලෙස භාෂා ලෙස බෙදුණු ජනතාවක් එක ඉන්දියානු කොඩියක් යටතට ගෙන එන විශාල දැක්මක් තිබුණා. ඒ දැක්ම අනුව ගොඩනැඟූ ඉන්දියානු රාජ්‍යය හඳ මත යානයක් ගොඩබස්වන විට අපේ රට තිබෙන්නේ කොතැනද? ඔවුන් විශාල සාහිත්‍යකලා, සංස්කෘතික පිබිදීමක් ගොඩනඟාගෙන තිබෙනවා. චීනය ගත්තත්, එහෙමයි. සෙල්ලම් බඩු නිර්මාණයේ සිට විශාල තාක්‍ෂණික උපකරණ නිපදවමින්, ලෝක වෙළෙඳපොළේ මහා බලයක් අත්පත් කර ගත්තා. ප්‍රංශයට යටත්ව තිබූ, ඇමෙරිකානු ආක්‍රමණයට ගොදුරු වූ වියට්නාමය මෑත කාලයේ ආසියාවේ වේගයෙන්ම දියුණු වන රාජ්‍යය බවට පත් වී තිබෙනවා. නමුත්, අපේ රට තිබෙන්නේ, ලෝකය ඉදිරියේ බංකොළොත්භාවයට පත්කළ ලැජ්ජාසහගත රාජ්‍යයක් ලෙසයි. විසිවැනි සියවසේ තාක්‍ෂණයෙන්, අධ්‍යාපනයෙන් මහා පෙරැළි ගෙනාවත්, අපේ රටට වී තිබෙන්නේ මොකක්ද?

ඉන්දියාව වාගේ ජාතිය එක කොඩියක් යටතට ගෙන එන සුද්දාගෙන් පසු නිදහස ලැබුණා යැයි විශාල හැඟීමක් ජනතාව තුළ තිබෙන්න ඇති. නමුත්, ඉන්දියාව ගෙන යන දිශාව පිළිබඳව නේරුලාටත්, චීනය ගෙන යන දිශාව පිළිබඳව මාඕ සේතුංලාටත්, වියට්නාමය ගෙන යන දිශාව පිළිබඳව හෝ-චිමිංලාටත්, එක්සත් ජනපදය ගෙන යන දිශාව පිළිබඳව ලින්කන්ලාටත් තිබුණු විශාල දැක්ම අපේ පාලකයන්ට තිබුණේ නැහැ. එක්දහස්නවසිය හතළිස්අටේ නිදහස ලැබුණු විගස වතුකරයේ දෙමළ ජනතාවට තිබුණු පුරවැසිභාවය අහෝසි කළා. උතුරේ චෙල්වනායගම් මැදිහත් වී දෙමළ රාජ්‍යය පක්‍ෂය පිහිටුවූයේ මේ පුරවැසි පනත ක්‍රියාත්මක කළ පසුවයි. අපේ නායකයන්ට ජනතාව බෙදීමේ දැක්ම මිස එක කොඩියක් යට ඒකරාශී කිරීමේ දැක්මක් තිබුණේ නැහැ. 1956දී භාෂා ප්‍රශ්නයක් අවුළුවා ගත්තා. 1958 දෙමළ-සිංහල කෝලාහලයක් අවුළුවා ගත්තා. 1965 වෙන කොට ‘ඩඩ්ලිගේ බඩේ මසල වඩේ’ කියලා පෙළපාළි යන්න පටන් ගත්තා. එක්දහස්නවසිය හැත්තෑහය වෙන කොට උතුරේ බෙදුම්වාදී ව්‍යාපාරයක් ගොඩනැඟෙන්න පටන් ගත්තා. 1981දී යාපනය පුස්තකාලය ගිනි තිබ්බා. 1983දී රට පුරා ජාතිවාදී ගැටුම් ආරම්භ කර මහා යුද්ධයක් දක්වා ගෙන ගියා. 2009දී ඒ යුද්ධය අවසන් කළා. නමුත්, 2015 වෙන කොට වඳ කොත්තු, වඳ ඇඳුම්වලින් පටන්ගෙන 2019දී පාස්කු ප්‍රහාරය එල්ල කෙරුණා. නමුත්, ඒ කාලය අතරතුරත් විවිධ ශක්තිමත් කණ්ඩායම් අපේ රට ගෙන යා යුතු දිශාව පිළිබඳව සාහිත්‍යය, කලාව, සංස්කෘතිය ගෙන යා යුතු දිශාව පිළිබඳව ගැඹුරු සංවාද කරමින් සිටියා. ලංකාවේ ඉදිරි ගමන රඳාපවතින රට විද්‍යුත් කිරීම පිළිබඳව 1919දී විමලසුරේන්ද්‍ර මහතා දැක්මක් සහිතව කරුණු ඉදිරිපත් කළා. 1918දී මාධ්‍යවේදියකු ලෙනින්ගෙන් අහනවා, සමාජවාදය සම්පූර්ණ කරන්නේ කවදාද කියලා. ලෙනින් උත්තර දුන්නේ, සෝවියට් දේශය විද්‍යුත්කරණය කර සම්පූර්ණ කරන දිනයේදී කියලයි. විමලසුරේන්ද්‍ර මහත්තයා 1919දී ලක්‍ෂපාන බලාගාරය ගැන ඉදිරිපත් කරන පත්‍රිකාවේ සඳහන් කර තිබෙන්නේ, ඒ අතිරික්ත විදුලිය විදුලි දුම්රිය දුවවන්න යොදාගත යුතු බවයි. අපේ අනාගතය ගත යුතු දිශානතිය ගැන එතුමාට අදහසක් තිබුණා. විමලසුරේන්ද්‍ර මහත්තයලාට, මාර්ටින් වික්‍රමසිංහ මහත්තයලාට, සරච්චන්ද්‍ර මහත්තයලාට, සේනක බිබිලේ මහත්තයලාට අපේ රට ගෙන යා යුතු දිශාව පිළිබඳව දැක්මක් තිබුණා. ඖෂධ සංස්ථාවේ සභාපති වූ සේනක බිබිලේ මහත්මාගේ දැක්ම අනුව ඕස්ටේ්‍රලියාව වාගේ රටවල් තමන්ගේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සකස් කර ගත්තා. නමුත්, අපේ රටේ දී සේනක බිබිලේ මහත්තයාව ඖෂධ සංස්ථාවෙන් එළියට දැම්මා. එළියේ නිර්මාණය වී තිබූ නව චින්තන දහරාව පැත්තකට දැමූ පාලකයන් අතීතකාමීත්වය දොඩවමින් සිටියා.

අපේ මුළු සමාජයත්, චින්තනයත් අතීතකාමීත්වයේ උගුලක හිර කළා. පාලකයන් රටේ සංවර්ධන නිර්ණායක අතීතය මත මනින්න පටන් ගත්තා. නමුත්, ලෝකය මහා පිමි පනිමින් ඉදිරියට ගියා. 2005දී රනිල් වික්‍රමසිංහ කීවේ, අපේ රට නැවත පරාක්‍රමබාහු යුගයකට ගෙන යන බවයි. ලෝකය සියවස් ගණනාවක් ඉදිරියට යන විට අපේ රටේ නායකයන් අතීත ශ්‍රී විභූතිය පුනරුච්චාරණය කරමින් හිටියා.

කොරියාව කොස්මෙටික් කර්මාන්තයෙන්, විනෝදාස්වාදය සැපයීමෙන් ලෝකයට විවෘත වී තිබෙනවා. බීට්ල්ස් සංගීත කණ්ඩායමේ සමහර සින්දු මිලියන එක්දහස්අටසියයක් නරඹා තිබෙනවා. රටේ ඉන්නේ මිලියන පණහක ජනගහනයක්. ඉස්සර අපේ පැල්කවි, කරත්ත කවි සීමාවෙන් ඉදිරියට ගොස් මහා වාණිජ සීමාවන් අත්පත් කර ගන්න සමත් වුණේ නැහැ. ඒ ගොල්ලෝ ලෝකයට සංගීතය හදන කොට අපි අතීතකාමීත්වයේ හිර කර 20වැනි සියවස මිස් කළ පාලකයන් රටම හිර කළා. ඒ නිසයි අපට නව පුනරුද යුගයක් අවශ්‍ය වන්නේ. ඒ නිසා කිරිඇල්ල වෙනුවට දුව, ප්‍රේමදාස වෙනුවට පුතා, රාජපක්‍ෂ වෙනුවට රාජපක්‍ෂ පුතෙක් හෝ මලයෙක් ගෙනැවිත් මේක වෙනස් කරන්න බැහැ. ඒ ගොල්ලෝ නඟින්නේ බරබාගයට. අප මේ රටත්, මේ රටේ ජනතාවත් විදුලි කෝච්චියට නංවන නව යුගයක් නිර්මාණය කරනවා. ජපානයේ ආර්ථිකය ඉලක්ක කර ගත් සංවර්ධනයේදී මිනිස් සබඳතා බිඳවට්ටා තිබෙනවා. විවාහ වීමේ ප්‍රතිශතය අඩු වෙමින්, සිය දිවි නසා ගැනීමේ ප්‍රතිශතය වැඩි වෙමින් තිබෙනවා. ආර්ථිකය පිමි පැන ගියත්, සමාජ සබඳතා බිඳවට්ටා වැඩක් නැහැ. අපට අවශ්‍ය වන්නේ පැරැණි වියගසෙන්, අසාර්ථක ආර්ථික ගමන්මඟෙන් මිදී නව දිශාවකට සමාජය පිවර්තනය කර ගැනීමටයි.

සමහර අය අපෙන් අහනවා, කැබිනට් මණ්ඩලයට පත් කරන්නේ කවුරුන්ද කියලා. පැරැණි යුගය තිබුණේ, පත් කරන ඇමැතිට සියල්ල ගැටගසමින් ගෙන යන්නයි. නමුත්, අපට අවශ්‍ය වන්නේ ඇමැතිවරයෙක් ව්‍යවස්ථාවට අනුව පත් කළත්, සාමුහිකව පර්යේෂණ සිදු කරන කෘෂිකර්මයට අදාළ සියලු ක්‍ෂේත්‍ර පිළිබඳව මණ්ඩලයකින් සමන්විත සාමුහික තීරණ ගැනීමේ ඒකක පිහිටුවීමටයි. ආරක්‍ෂාවත් ඒ වගෙයි. අප ජාතික ආරක්‍ෂාව පිළිබඳ එක්ස්පර්ට්ලා නොවෙයි. හැබැයි, ඒ සම්බන්ධයෙන් විශේෂඥයන් මේ වේදිකාවේ ඉන්නවා. ඔවුන් තමයි, ඒ පිළිබඳව තීරණ ගන්නේ. අනෙක් අතින් ජාතික ආරක්‍ෂාව කියන්නේ බයිනෙත්තුවක් අතින් ගත් සොල්දාදුවෙක් හන්දියක සිටුවා තැබීම නොවෙයි. ඒ වටා තිබෙන සමස්තය පුරවැසියගේ ජීවිතවලින් පිළිබිඹු කිරීමයි. ඒ නිසා පැරැණි ක්‍රමය මතකයේ තබාගෙන අපෙන් ප්‍රශ්න අහනවා වෙනුවට නව පරිවර්තනයක් පිළිබඳව චිත්‍රයක් සිතේ මවාගෙන ප්‍රශ්න අහන ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා. අප යෝජනා කරන්නේ නූතන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ මධ්‍යස්ථානයක්. අප යෝජනා කරන්නේ හුදු ආර්ථික ගමනක් පමණක් නොවෙයි. මිනිස් චින්තනයේ නව පරිවර්තනයක් ද පිළිබඳවයි.

පවතින රාජ්‍ය සේවය සම්බන්ධයෙන් අප යෝජනා කරන්නේ චින්තනමය වශයෙන් පරිවර්තනය වූ රාජ්‍ය සේවයක් පිළිබඳවයි. පැරැණි තැන සිටි නායකයන් මොන තරම් බල්ටි ගැහුවාද? ඒ අසාර්ථක තැන වෙනුවට අප යෝජනා කරන්නේ නව පිබිදීමක්! ඒ අලුත් තැන කියන්නේ දේශපාලකයා ජනතාවට බයේ සැඟවී සිටින තැනක් නොවෙයි, දේශපාලකයා සහ ජනතාව අතර සමීප සම්බන්ධතාවක් තිබෙන තැනක්. මෙතෙක් සිටි පාලකයන් සිතා සිටියේ, ඒ අය මහා බ්‍රහ්මයාගේ නළලෙන් මැවූ බවත්, පුරවැසියන් යටිපතුලෙන් මැවූ බවත් කියලයි. අප යෝජනා කරන්නේ, පුරවැසියාගේ වේදනාව තමන්ගේ වේදනාවක් ලෙස දැනෙන නව දේශපාලනයක්. සාමුහිකත්වය, මානුෂික බැඳීම්, ආධ්‍යාත්මික බැඳීම්, අනෙකා කෙරෙහි සහකම්පනයකින් යුත් මිනිස් සමාජයක නව ආර්ථික මාවතක් අප යෝජනා කරනවා. අපේ දියණියන්ට, කාන්තාවන්ට රැකවරණයක් සහිත සමාජයක්. අපේ අමරකීර්ති සොහොයුරා කීවා, නිල ඇඳුමට බයයි කියලා. නමුත්, අපේ දියණියන්ට, සොහොයුරියන්ට බය හිතෙන්නේ නිල ඇඳුමට විතරද? නෑ. සමාජයටත් බයයි. මිත්‍රශීලී පොලිසියක් සහ ත්‍රිවිධ හමුදාවක් වාගේම සහකම්පනයක් සහිත සමාජයකුත් අවශ්‍යයි. සෞඛ්‍ය ඇමැති බෙහෙත්වලින් හොරකම් කරන, අගමැතිවරයා මහ බැංකුවට ගහන රටක් අපට ඕනෑද? මේ නස්පැත්තිය වෙනුවට නව පුනරුද යුගයක් අපට අවශ්‍යයි.

සුද්දා ගියාම එදා සිටි අපේ වැඩිහිටියන්ට මොන තරම් සතුටක් ඇති වෙන්න ඇතිද? මේ පාලක තන්ත්‍රය පෙරළා දැමුවාම ඒ හැඟීමම ජනතාවට විශාල පිබිදීමක් සහ බලාපොරොත්තුවක් ඇති කරවනවා. සුද්දා අවුරුදු 133යි. මේ පාලකයන් අවුරුදු 76යි. සුද්දාගේ පීඩනය අපට දැනුණේ නැහැ. මේ පාලකයන්ගේ පීඩනය අප අත්වින්දා. ඔක්තෝබර් මාසය වෙන කොට ඔවුන්ගෙන් නිදහස් වීමේ සතුටක් අප භූක්ති විඳිනවා. මේ පාලකයන් පලවාහැර පාලන තන්ත්‍රය පෙරළා දැමීමෙන්ම ජනතාව විශාල පිබිදීමකින් රට ගොඩනැඟීමට ඉදිරියට ඒවි. අපට අපෙ මහපොළොවෙන් ඉපැදුණු විද්‍යාඥයන්ගෙන්, පර්යේෂකයන්ගෙන් වැඩගත නොහැකි වුණාට ලෝකයට වැදගත් අපේ අය විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් නැවත පැමිණෙන්න සූදානමින් සිටිනවා. පිළිකා රෝගයට නව ඖෂධයක් සොයා ගැනීම පිළිබඳ පර්යේෂණ පවත්වන ආචාර්ය ගෝමික, ඇමෙරිකාවේ හුස්ටන් ප්‍රදේශයේ සිටින අපේ පක්‍ෂයේ සංවිධායකයායි. ඔහු එක්සත් ජනපදයේ පර්යේෂණ සඳහා තිබෙන ප්‍රධානම මණ්ඩලයේ සාමාජිකයෙක්. ඔවුන් ලෑස්තියි, පොරබදමින්, මේ රට ගොඩනඟන්න පැමිණෙන්න. දේශපාලකයන් හැටියට අපට තිබෙන මූලිකම වගකීම ඒ සියලු දෙනාගේ විශ්වාසයට අබමල් රෙණක තරම්වත් හානියක් සිදු නොවන ආකාරයට ක්‍රියා කිරීමයි. මැතිවරණයේදී අපව විශ්වාස නොකරන කණ්ඩායම්ද ඉන්පසුව අපව විශ්වාස කරන පරිවර්තනයක් අප සිදු කරනවා. මෙතැනට රැස් වි සිටින ඔබ අධිෂ්ඨානශීලීව ක්‍රියා කරමින්, අභියෝග ජය ගත්තා වාගේ මහනුවර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවීමේ කොඩිය අතට ගන්න. යුද්ධය අවසන් කරන්න අවුරුදු තිහකට වැඩි කාලයක් ගත වුණා. මේ යුද්ධය අවසන් කරන්න තව මාස හයයි තිබෙන්නේ. ඒ කාලය තුළ ජයග්‍රහණය ලැබීමේ ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව පෙරමුණටම පැමිණ කටයුතු කරන ලෙස ආරාධනා කරනවා යැයි අනුර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *