27 April 2024
#දේශීය #පුවත්

සමහරු කාන්තාව දේශපාලන ඉත්තන් කර ගන්නවා – විපක්ෂනායක සජිත්

සමහරු කාන්තාව දේශපාලන ඉත්තන් කර ගත්තට අපි කාන්තාව රටේ සංවර්ධන⁣යේ ගාමක බලවේගය බවට පත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (25) මහනුවර පැවැති සමගි වනිතා සමුළුව අමතමිනි.

අතීතයේ කාන්තාවන්ට දෙවිනුවර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා කිසිදු කරදරයකින් තොරව ගමන් කළ හැකි වුවත් අද එවැනි තත්ත්වයක් රට තුළ නොමැති බවත් කුඩා දරු දැරියන්ට එරෙහි අපරාධ අතින් ලංකාව දෙවැනි තැනට ඇවිත් ඇති බවත් 2023 පමණක් එවැනි අපරාධ 9400ක් වාර්තා වී ඇති බවත් ඉන් 1502ක් ලිංගික අපචාර බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප රටේ කාන්තාවන්ගෙන් අඩකඩ වැඩි ප්‍රමාණයක් ගෘහස්ත හිංසනයට ලක්ව ඇති බවත් අප රටේ කාන්තාවන්ට ඇත්තේ සෝචනීය ඛේදනීය තැනක් නිසා මෙය වෙනස් කළ යුතු බව හෙතෙම පැවසීය.

නිසි ආරක්ෂාව, සුදුසු පරිසරය සහ රැකවරණය නොමැති නිසා ශ්‍රම බලකායෙන් අප රටේ කාන්තාවන් සිටින්නේ 34%ක් බවත් කාන්තාවන්ට නිවසේදී ප්‍රවාහනයයේදී වැඩබිමේදී අතිමහත් බහුතරයක් පීඩනයකට හිංසනයට අසහනයට ලක්වන බවත් ආර්ථික අර්බුධයෙන් පවා පීඩනයට ලක්ව ඇත්තේ කාන්තාව බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

ගෙදර බුදුන් අම්මා ලෙස හැදින්වුත් ළමා මන්දපෝෂණය මාතෘ මන්දපෝෂණය බරපතල ගැටලුවක් වී ඇති බවත් කාන්තා දින සැමරුම් පැවැත්වුවත් ඉන් කිසිදු දෙයක් මේ වන විටත් සිදු නොවී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2019 ජනාධිපතිවරණයේදී කවුරුත් කාන්තාවන් ගැන කතා නොකළත් තමා කාන්තාවන් වෙනුවෙන් පමණක් ප්‍රඥප්තියක් සකස් කළ බවත් අද කාන්තාව දේශපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගමක බලවේගයක් ලෙස හැදින්වුවාට පසු කාන්තාව දේශපාලන ආයුධයක් කර ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රටේ 52%ක් කාන්තාවන් අපේක්ෂා කරන්නේ දේශපාලනඥයන්ගෙන් පාඩම් දේශන නොව ගැටලුවලට පිළිතුරු බවත් එමනිසා චාටු කතාවලට නොරැවටෙන ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බල වේගය කාන්තාවන් දේශපාලන ඉත්තන් කර නොගන්නා බවත් බංකොලොත් රටේ රජයටවත් කරන්න බැරි දේවල් රැසක් සමගි ජන බලවේගය ලබා දෙන බවත් සක්වල හා හුස්ම වැඩසටහන් එයට උදාහරණ බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *