මෝල්ඩෝවා රාජ්‍යයෙන් වෙන්වී ඇති ට්‍රාන්ස්ඩ්නයිස්ට්‍රියා කලාපයේ ජීවත් වන රුසියානු වැසියන්ගේ ආරක්ෂාවට මේ වන විට තර්ජනයක් පවතින බව රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් සර්ජි ෂොයිගු පවසන අතර ඔවුන්ව ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ඕනෑම පියවරක් ගැනීමට මොස්කව් පාලනය සූදානම් බව ඔහු ඊයේ අවධාරණය කළේය. ට්‍රාන්ස්ඩ්නයිස්ට්‍රියා කලාපයේ රුසියානු පුරවැසියන් 220,000කට අධික පිරිසක් ජීවත් වන බව පෙන්වා දෙන සර්ජි ෂොයිගු මහතා යුක්රේනයේ කිව් පාලනය සහ මෝල්ඩෝවාහි චිසිනාවු පාලනය ගන්නා අදූරදර්ශී සහ වගකීම් විරහිත ක්‍රියාමාර්ග හේතුවෙන් ඔවුන්ගේ ආරක්ෂාව අනතුරේ වැටී ඇති බව ප්‍රකාශ කර සිටී. රුසියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තම පුරවැසියන් ආරක්ෂා කිරීමට රුසියාව ඕනෑම ක්‍රමවේදයක් භාවිතා කරන බවත් ඒ සඳහා විය නොහැකි යැයි සිතන ඕනෑම ක්‍රියාමාර්ගයක් වුවද ගැනීමට සූදානම් බවත් පවසන ඔහු යුක්රේන දේශසීමාවට ආසන්නව පිහිටි මෙම ප්‍රදේශයේ වෙසෙන රුසියානුවන් වෙනුවෙන් රුසියාව සියලු විකල්ප කෙරෙහි අවධානය යොමු කරමින් සිටින බවද පැවසීය.
සෝවියට් පාලනය බිඳ වැටීමට පෙර මෝල්ඩෝවා රාජ්‍යයෙන් වෙන් වූ ට්‍රාන්ස්ඩ්නයිස්ට්‍රියා කලාපය 1992 වසරේ පැවති කෙටි යුද්ධයකින් පසුව දශක තුනකට අධික කාලයක් සාමකාමීව පැවතිණි. කෙසේ වෙතත් මෝල්ඩෝවාහි වත්මන් යුරෝපා හිතවාදී බලධාරීන් විසින් මෙම බෙදුම්වාදී කලාපය කෙරෙහි දැඩි පීඩනයක් එල්ල කිරීමත් සමඟ නැවතත් උණුසුම් තත්ත්වයක් වර්ධනය වී තිබේ. යුක්රේන යුද්ධය පවතින පසුබිමක මෙම ප්‍රදේශය සම්බන්ධයෙන් රුසියාව දක්වන දැඩි ස්ථාවරය කලාපීය ආරක්ෂාව පිළිබඳව නව සංවාදයක් මතු කිරීමට සමත්ව ඇත.














