27 April 2024
#දේශීය

යහපාලනය යුගයේදී විනිසුරුවරුන් උසස්වීමක් වෙනුවෙන් නිවැරදි මිනිසුන් එල්ලුම්ගස් යවලා – ජානිපෙ කියයි

පොලීසියට හා අධිකරණයට නිර්ලජ්ජිත ලෙස බලපෑම් කළ යහපාලන ආණ්ඩුව විනිසුරුවරුන්ගේ උසස්වීමක් වෙනුවෙන් නිවැරදි මිනිසුන් එල්ලුම්ගස් යවන තැනට පත්කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ දුරකථන සංවාද හඬපට මගින් ඔප්පු වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මුසම්මිල් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (07) එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඉහත හඬපටවලින් හෙළිදරව්වන වෙඩි තැබීමකට අදාළ සිදු වීමකදී රන්ජන් රාමනායකට ‘මිස් ෆයර් වුණා’ යනුවෙන් පොලීසියට බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට උපදෙස් දෙන හිටපු අගමැතිවරයාගේ සහ හිටපු පොලිස්පතිවරයාගේ ක්‍රියා කලාපවලින් පෙනී යන්නේ එජාප නායකයන් නීතිය සමඟ සූදු කෙළි ආකාරය බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

එසේම ශ්‍රී ලංකා පොලීසිය සතු සංවිධානාත්මක ඒකකය වන අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා එජාප මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වල ‘මාස ගණන වළං හේදීමට’ එකඟ වන නිර්ලජ්ජිත තත්වයට පත්ව සිටි ආකාරය ‘ශානි අබේසේකර රන්ජන් රාමනායක’ දුරකථනක සංවාද හඬපට තුළින් අනාවරණය වූ බව ද මුසම්මිල් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

2015 බලපෙරළියත් සමඟ විපක්‍ෂයේ දේශපාලන නායකයන් දඩයම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ සිට ‘රනිල් – රාජිත – චම්පික – සුමන්තිරන් හා අනුර දිසානායක’ කළ කී දෑ පක්‍ෂ, පාට භේදවලින් තොරව මේ රටේ නීතියේ ආධිපත්‍යයට ගරු කරන සෑම සුරවැසියකුටම මේ හඬපට තුළින් තේරුම් ගොස් ඇති බවද ජානිපෙ ප්‍රචාරක ලේකම්වරයා සඳහන් කළේය.

නීතියේ ආධිපත්‍යය කෙරෙහි හා පොලීසියේ හා අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි මහජන විශ්වාසය යළි ගොඩනැංවීම, මේ නීතිය සමඟ සුදු කෙලීමේ ක්‍රියාවලියේ වින්දිතයන් වූ දේශපාලනඥයන්ට, රණවිරුවන්ට සාධාරණයක් ඉටු කිරීම වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යයක් බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *