27 April 2024
#විශේෂාංග

යහ පාලනය තුල සිටි බැසිල්ගේ ඔත්තුකරුවෝ..?

යහ පාලන සමයේ එහි අභ්‍යන්තරික තත්ත්වයන් හා දේශපාලනික ගතිකයන් පිටත ට කාන්දු කිරීම උදෙසා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ විසින් චරපුරුෂයන් යොදවා සිටි බව හෙළි වෙමින් පවතී. පසුගිය දා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ නායකත්ව හමුවක දී හා අභ්‍යන්තර සාකච්ඡාවන්වල දී සහ වත්මන් විපක්ෂයේ ප්‍රබලයින් අතර මේ පිළිබඳව කතා බහ ට ලක්ව ඇත.

දෙස් විදෙස් දේශපාලන කුමන්ත්‍රණ රැසක් ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේ ක්‍රියාවට නැංවීම ට කැස කැවූ 2013 වසරේ සිට, මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වීම දක්වා සිදු වූ බොහෝ දෑ මේ අනුව පැහැදිලිව හා නිරවුල්ව දැන් දැන් ප්‍රසිද්ධියේ කතා බහ ට ලක්වෙමින් තිබීම ද මෙම සාකච්ඡාවන් ට පාදක වී තිබේ.

ආරම්භක අවස්ථාවේ දී නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා ට පොදු අපේක්ෂක භූමිකාව රඟ දැක්වීම ට අරාධනා හිමී වු බවත්, ඔහු පළමුව ඊට යම් කැමැත්තක් දක්වා, පසුව බියමුසු ස්වභාවයකින් ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කළ බවත් මේ වනවිට ප්‍රසිද්ධ රහසක්ව තිබේ.

කෙසේ හෝ අග්‍රාමාත්‍ය ධූරය නොලැබීම ආදී විවිධ හේතූන් මත රාජපක්ෂ රෙජීමය සමඟ මතවාදී තලයක සිටි, එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයා ආරාධනාව එකහෙළා පිළිගත්තේ ය. ඒ පිළිබඳව පළමුව සන්නිවේදය කිරීමට සමත්වූ පාර්ශවය ලෙස කිලී මහරාජා ඇතුළු කණ්ඩායමේ පූර්ණ සහාට ඔහු ට හිමිවන බවත් ඒ වෙනුවෙන් යම් යම් එකඟතා ඇති වූ ආකාරයත් මේ වනවිට ප්‍රසිද්ධ රහස් බව ට පත්ව තිබේ.

ඉන් අනතුරුව සිට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිර්මාණය කළ අවස්ථාව දක්වා, යහ පාලනය අභ්‍යන්තරයේ තත්ත්වයන් නිරීක්ෂණය කිරීම ට මෙන්ම ඒ තුල යම් අදෘෂ්‍යමාන පාලනයක් ඇතිකිරීම උදෙසා තම පාර්ශවය ට හිතවාදී කිහිපදෙනෙක් හෝ ස්ථානගතකිරීම ට බැසිල් රාජපක්ෂ මහතා පියවර ගෙන තිබූ බව දැන් පැහැදිලි යැයි මේ සම්බන්ධයෙන් මත පලකරන වත්මන් විරුද්ධ පක්ෂයේ ප්‍රබලයින්ගේ මතය වී තිබේ.

මෙසේ ක්‍රියාත්මක වූ චරපුරුෂ දේශපාලන චරිත හඳුනාගත යුතු බවත්, ඔවුන් රට ට හෙළි කළ යුතු බවත් මේ විපක්ෂ ප්‍රබලයින් අතර සාකච්ඡා වී ඇත. එය ඉදිරි සංධානගතවීම් සඳහා පෙර සූදානමක් විය යුතු බවට ද ඇතැමුන් මත පල කළ බව ද අපගේ දේශපාලන ආරංචි මාර්ග කියයි.

සටහන : අකලූෂ විද්‍යාතිලක

Leave a comment

Your email address will not be published. Required fields are marked *