යෙරුසලමේ ඉදිකිරීමට නියමිත නව එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ස්ථිර ස්ථානය ලෙස, 1948 වසරට පෙර පලස්තීනුවන්ට අයත්ව තිබූ ඉඩම් කොටසක් භාවිත කිරීමට ඊශ්‍රායලය සහ ඇමරිකාව අතර ගිවිසුමක් අත්සන් කර තිබේ.
මෙම ඉඩම සඳහා වසර 99ක බදු ගිවිසුමක් අත්සන් කර ඇති අතර, ඒ වෙනුවෙන් ඇමරිකාව ඊශ්‍රායලයට ගෙවනු ලබන මුදල ඇමරිකානු ඩොලර් 1ක් පමණක් බව ඊශ්‍රායලයේ ඇමරිකානු තානාපති මයික් හකබි මහතා ප්‍රකාශ කළේය.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පළමු ධුර කාලය තුළ, 2017 දෙසැම්බර් මාසයේදී තම තානාපති කාර්යාලය ටෙල් අවිව් නුවරින් ඉවත් කර යෙරුසලමට මාරු කිරීමට නියෝග කළේය. එකල මෙම තීරණය යෙරුසලමේ තත්ත්වය පිළිබඳව පවතින ජාත්‍යන්තර සම්මුතිය උල්ලංඝනය කිරීමක් ලෙස දැඩි විවේචනයට ලක් විය. ඇමරිකාව සිය තානාපති කාර්යාලය මාරු කළද, ලෝකයේ බොහෝ රටවල් තවමත් තම තානාපති කාර්යාල ටෙල් අවිව් නුවර පවත්වාගෙන යයි.
මේ අතර, ඊශ්‍රායලයේ මානව හිමිකම් සංවිධානයක් වන ‘අදාලා’ (Adalah) විසින් 2022 වසරේදී ප්‍රකාශ කර තිබුණේ, තානාපති කාර්යාල සංකීර්ණය සඳහා වෙන් කර ඇති මෙම ඉඩම 1950 ඊශ්‍රායලයේ ‘පලාගිය අයගේ දේපළ පනත’ (Absentees’ Property Law) යටතේ පලස්තීනුවන්ගෙන් අත්පත් කර ගත් එකක් බවයි.
මෙම ඉඩම් අත්පත් කර ගැනීම සහ එහි තානාපති කාර්යාලය පුළුල් කිරීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව ‘අදාලා’ සංවිධානය පෙන්වා දෙයි. විශේෂයෙන්ම පෞද්ගලික දේපළ අත්පත් කර ගැනීම තහනම් කරන හේග් රෙගුලාසිවල 46 වන වගන්තිය මෙයින් උල්ලංඝනය වන බව එම සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි.
















