මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ පවතින නඩුවේදී, දෙහිවල මිහිඳු මාවතේ පිහිටි නිවස මිලදී ගැනීම සහ එය ඉදිකිරීම සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් තිදෙනෙකු විසින් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරනු ලැබීය.
මෙම නඩුවේ සාක්ෂි ලබාදුන් යසාරා අබේනායක මහත්මිය ප්‍රකාශ කළේ, තමන් සහ යෝෂිත රාජපක්ෂ විවාහ වී පදිංචි වීමට සැලසුම් කර තිබූ මෙම නිවස යෝෂිත රාජපක්ෂ විසින්ම ඉදිකරන ලද්දක් බවයි. ඉතා විශාල කාමර ගණනාවකින් සමන්විත මෙම නිවස ඉදිකරන සමයේ යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවේ සේවය කරමින් සිටි බවත් ඇය සිහිපත් කළාය.
ඉඩම් හිමියා වන ලූෂන් රත්නායක මහතා සාක්ෂි දෙමින් කියා සිටියේ, රත්මලාන කෙකටිය පාරේ පිහිටි සිය ඉඩම රුපියල් මිලියන 34.5කට විකිණීම සඳහා සිය හිතවතෙකු හරහා ගැනුම්කරුවෙකු පැමිණි බවයි. රජගිරියේ පිහිටි බැංකුවකදී අදාළ ඔප්පුව අත්සන් කළද, එහි ගැනුම්කරු ලෙස සඳහන්ව තිබුණේ ‘ඩේසි ෆොරස්ට්’ නැමැති කාන්තාවකගේ නම බවත්, මුදල් ගෙවූයේ කවුරුන්දැයි තමන් නොදන්නා බවත් ඔහු පැවසීය. මීට වසර දෙකකට පෙර සිය නිවසේ පැවැත්වූ ‘ගරාජ් සේල්’ එකක් සඳහා යෝෂිත රාජපක්ෂ සිය පෙම්වතිය සමඟ පැමිණි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
තෙවැනි සාක්ෂිකරු වන වසන්ත කුමාර ජයසූරිය මහතා සාක්ෂි දෙමින් සඳහන් කළේ, අදාළ ඉඩම මිලදී ගැනීමට යෝෂිත රාජපක්ෂ තමන් සමඟ සාකච්ඡා කළ බවයි. බැංකුවේදී ඔප්පු අත්සන් කළ අවස්ථාවේදී ඉඩම මිලදී ගැනීමට අවශ්‍ය මුදල් බෑග්වල දමාගෙන ආරක්ෂකයින් වැනි පෙනුමක් ඇති පිරිසක් විසින් රැගෙන ආ බව හෙතෙම අධිකරණය හමුවේ තහවුරු කළේය.
















