ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ විමර්ශනවලදී රජයේ රස පරීක්ෂක වාර්තා සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ලබා ගැනීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සිය විමතිය පළ කර තිබේ.
අදාළ නඩු කටයුත්ත ඊයේ (08) කැඳවූ අවස්ථාවේදී, කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, මරණකරු හමුවූ ස්ථානයේ තිබී සොයාගත් හඳුනා නොගත් ඖෂධ වර්ග පිළිබඳ රස පරීක්ෂක වාර්තාව සහ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව තවමත් ලැබී නොමැති බවයි.
මෙම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අදාළ රස පරීක්ෂක වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් රජයේ රස පරීක්ෂකවරයා වෙත විශේෂ සිහි කැඳවීමක් යොමු කළේය. එසේම, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට ද නියෝග කරමින් සිහි කැඳවීමේ ලිපියක් නිකුත් කිරීමට පියවර ගත්තේය.
මියගිය කපිල චන්ද්‍රසේන මහතාගේ දේහය හමුවූයේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ කාමරයක තිබියදීය. මෙම මරණය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය සලකා බැලීම සඳහා අදාළ නඩු කටයුත්ත ලබන ජූලි 22 වැනිදා නැවත කැඳවීමට නියමිතය.















