ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සඳහා අමරිකානු ඩොලර් මිලියන 150 ක මුදලක් අනුමත කිරීමට ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය පියවර ගෙන තිබේ. අද (01) නිල වශයෙන් නිවේදනය කරන ලද මෙම මූල්‍ය පහසුකම හරහා ශ්‍රී ලංකාවේ ආයෝජන දිරිගැන්වීම, තරඟකාරීත්වය ශක්තිමත් කිරීම සහ නව රැකියා අවස්ථා බිහිකිරීම අපේක්ෂා කෙරේ.
මෙම මූල්‍ය ආධාරය ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේ වර්ධනය, ඔරොත්තු දීමේ හැකියාව සහ විවෘතභාවය සඳහා වන ප්‍රතිසංස්කරණ සංවර්ධන වැඩසටහන (REGROW) යටතේය. මෙය යෝජිත අදියර තුනකින් යුත් වැඩසටහනක පළමු අදියර වන අතර, මීට පෙර ක්‍රියාත්මක වූ ආර්ථිකය ස්ථාවර කිරීමේ වැඩසටහනෙන් ඔබ්බට යමින් දිගුකාලීන ආර්ථික වර්ධනයක් අත්පත් කරගැනීම මෙහි අරමුණයි.
මෙම වැඩසටහන යටතේ වෙළඳ බාධක අවම කිරීම, ආයෝජන පරිසරය වැඩිදියුණු කිරීම, මූල්‍ය අංශය ශක්තිමත් කිරීම සහ රාජ්‍ය සතු ව්‍යවසායන්හි (SOEs) කාර්යසාධනය නියාමනය කිරීමට පියවර ගැනේ. මීට අමතරව කාන්තා රැකියා නියෝජනය පුළුල් කිරීම මෙන්ම වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදෙමින් බලශක්ති පිරිවැය අඩු කිරීම සඳහා විදුලිබල අංශයේ තරඟකාරීත්වය ඉහළ නැංවීමට ද මෙයින් සහයෝගය හිමි වේ.
ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකු කළමනාකරු ගෙවෝර්ග් සර්ග්සියාන් (Gevorg Sargsyan) මහතා ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාව සිය ආර්ථිකය ස්ථාවර කරගැනීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවයි. “දැන් වඩාත්ම වැදගත් වන්නේ පෞද්ගලික ආයෝජන දිරිගැන්වීම, ඉහළ වටිනාකමකින් යුත් අපනයන ප්‍රවර්ධනය සහ රැකියා උත්පාදනය සඳහා වන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාමයි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ලෝක බැංකුව මේ වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, සෞඛ්‍ය, බලශක්ති ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍රයන්හි ඩොලර් බිලියන 1.5 කට අධික වටිනාකමකින් යුත් ව්‍යාපෘති 13 ක් ක්‍රියාත්මක කරන අතර, එහි පෞද්ගලික අංශයේ අනුබද්ධිත ආයතනය වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) ද පෞද්ගලික අංශය වෙනුවෙන් ඩොලර් බිලියන 1.8 කට ආසන්න මූල්‍ය පහසුකම් සපයා දී ඇත.














