රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති මිල ගණන් යටතේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට ඇති බාධාවන් හඳුනා ගැනීම සහ ඒ සඳහා ව්‍යාපාරික ප්‍රජාවගේ සහයෝගය ලබා ගැනීම වෙනුවෙන් වී මෝල් හිමියන් සහ අමාත්‍යවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද (06) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි. මේ සඳහා කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ටී.බී. සරත්, නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහ කුඩා, මධ්‍යම මෙන්ම මහා පරිමාණ සහල් මෝල් හිමියන් සහභාගී වී තිබේ.
මෙහිදී අදහස් දැක්වූ වසන්ත සමරසිංහ අමාත්‍යවරයා සඳහන් කළේ මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් මිලියන 6000ක් වෙන් කර ඇති බවයි. ලංකාවේ පරිභෝජනයෙන් 80%ක්ම සුදු සහ රතු නාඩු සහල් වන බැවින් රජයේ මිලට වී මිලදී ගැනීමට මෝල් හිමියන්ගේ සහය අත්‍යවශ්‍ය බව ඔහු පැවසීය. නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පෙන්වා දුන්නේ ඉන්ධන මිල නිසා අස්වනු නෙලීමේ වියදම වැඩි වුවත් රජය මැදිහත් වී පොහොර මෙට්‍රික් ටොන් 62,000ක් බෙදා දී ගොවියාට සහනයක් දුන් බවයි. ඉදිරියේදී පොහොර සහ ඉන්ධන මිල තවදුරටත් අඩුවනු ඇතැයි ද ඔහු සඳහන් කළේය. මෝල් හිමියන් ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව නිලධාරීන් සමඟ සාකච්ඡා කර කඩිනමින් තීරණයකට එළඹෙන බව කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
















