27 April 2024
#දේශීය

රටේ ඉඩම් විනාශ කරන්න ඉඩ නොදිය යුතුයි – ජනපති

ජාවාරම්කරුවන්ට රටේ ඉඩම් විනාශ කර දැමීමට ඉඩ තැබිය නොහැකි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ඉඩම්වල අයිතිය පොදු ජනතාවට හිමිවිය යුතු අතර, ඉඩම් ප්‍රතිපත්තියක් කඩිනමින් සම්පාදනය විය යුතු බවට ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඉඩම් පනත සංශෝධනය පිළිබඳ අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ය.

ඉඩම් පිළිබඳ නීති රීති සැකසීමේ දී කිසිවිටෙකත් ධනපති පන්තිය හෝ ජාවාරම්කාර ව්‍යාපාරිකයින් ශක්තිමත් කිරීමට කටයුතු නොකළ යුතු අතර රටේ අහිංසක දුක් විදින ගොවි ජනතාවට භූමියේ අයිතිය හිමිකර දීම වගකිව යුතු රජයක ප්‍රමුඛ අරමුණ විය යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ ය.

එමෙන්ම රටක ඉඩම් භාවිතය පිළිබඳව ද නීති සම්පාදනය විය යුතු අතර, නව සංශෝධන යටතේ ඊට අදාල කොන්දේසි කිසිසේත් ඉවත් නොවිය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඉඩම් පිළිබඳ බලය ප්‍රාදේශීය සභා වෙත පැවරීම හේතුවෙන් සිදුව ඇති දූෂිත තත්ත්වය ද පැහැදිළි කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳව ද අදාළ පාර්ශ්වයන්ගේ කඩිනම් අවධානය යොමු කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විජයදාස රාජපක්ෂ, රාජිත සේනාරත්න, පී. හැරිසන්, ගයන්ත කරුණාතිලක, දයා ගමගේ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු ද, අදාළ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *