රට තුළ සැබෑ ආර්ථික ප්‍රබෝධයක් ඇති කිරීමේදී ඊට සමගාමීව ආගමික ප්‍රබෝධයක් ඇති කිරීම ද අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි. බුදු සසුන මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමට සියලු දෙනා වගකීම් හඳුනාගෙන අත්වැල් බැඳගැනීම මෙවර වෙසක් පොහෝ දින ගත හැකි හොඳම අදිටන බව ද හෙතෙම සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (27) පස්වරුවේ තිහගොඩ, මිදෙල්ලවල පුරාණ රජමහා විහාරස්ථානයේ පැවති ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වන රාජ්‍ය වෙසක් මහෝත්සවයේ නිල සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා, සංඝ සංස්ථාව විනයධරව පවත්වාගෙන යාමට අවශ්‍ය නීති රීති කඩිනමින් සම්පාදනය කර දීමට රජය අපේක්ෂා කරන බව ද පැවසීය.
“අභිත්ථරේථ කල්‍යාණේ” යන තේමාව යටතේ “දක්ෂිණා ප්‍රභා” රාජ්‍ය වෙසක් සතිය අද සිට ජුනි මස 01 වැනිදා දක්වා මාතර නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. කොටු පවුර ප්‍රදේශයේ ප්‍රතිපත්ති පූජා කලාපය (ධාතු ප්‍රදර්ශන, සීල, භාවනා) සහ වෙරළ උද්‍යානය ආශ්‍රිත ආමිස පූජා කලාපය (තොරණ, පහන් කූඩු) ලෙස මෙය ක්‍රියාත්මකය. මෙවර සුවිශේෂී අංග ලෙස AI තාක්ෂණයෙන් අහසේ මැවෙන බෞද්ධ රටා සංදර්ශන, LED තිර හරහා පෙන්වන ඩිජිටල් ජාතක කතා සහ සම්ප්‍රදායික රූකඩ සංදර්ශන ඇතුළත් කර තිබේ.
රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව, ඉන්දීය මහකොමසාරිස් සන්තොෂ් ජා මහතාගේ ද සහභාගිත්වයෙන් බෞද්ධ සංස්කෘතික ඡායාරූප ප්‍රදර්ශනයක් විවෘත කෙරුණු අතර විශේෂ සමරු මුද්දර 4ක් නිකුත් කිරීම සහ දකුණේ විහාරස්ථාන කිහිපයකට පූජා භූමි සන්නස් පත්‍ර ප්‍රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදුවිය.
















