මධ්‍යම පළාත් සභාවේ මගී ප්‍රවාහන, මාර්ග සංවර්ධන සහ සෞඛ්‍ය යන අංශයන්හි සිදුව ඇති මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සහ පරිපාලන දෝෂ රැසක් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් යුත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) හමුවේ අනාවරණය වී තිබේ.
2021-2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති ත්‍රෛවාර්ෂික තත්ත්ව වාර්තාව, 2024 වර්ෂයේ විගණන වාර්තාව සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීම සඳහා මධ්‍යම පළාත් සභාවේ උසස් නිලධාරීන් පසුගියදා පාර්ලිමේන්තුවට කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
මෙහිදී 2019 වසරේ ලබාදුන් කාරක සභා නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමසීමේදී, මධ්‍යම පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ අතිශය වැදගත් ලිපිගොනු පිරිසක් විසින් විනාශ කර දමා ඇති බව හෙළි විය. එමෙන්ම, මෙම සිදුවීමට අදාළව අධිකරණය සහ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කර තිබූ නියෝග ක්‍රියාත්මක කිරීමට අදාළ බලධාරීන් පැහැර හැර ඇති බවද අනාවරණය විය. මේ පිළිබඳව දැඩි ප්‍රසාදය පළ නොකළ කාරක සභා සභාපතිවරයා, එම ලිපිගොනු විනාශ කිරීමට අදාළ සියලුම වාර්තා වහාම COPA කමිටුව වෙත යොමුකරන ලෙස නියෝග කළේය.
නීති විරෝධී බදු දීම් සහ රාජ්‍ය ආදායම් අවභාවිතය:
මේ අතර, බදු කොන්දේසි අමුඅමුවේ උල්ලංඝනය කරමින් මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සතු ගිමන්හලක් (Rest House) තෙවන පාර්ශවයක් වෙත අනීතිකව ලබාදීමේ සිදුවීමක් ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. ඊට අදාළව තීරණ ගත් වගකිවයුතු නිලධාරීන් වහාම හඳුනාගෙන, ඔවුන්ට එරෙහිව ගන්නා නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සභාපතිවරයා දැනුම් දුන්නේය. “රාජ්‍ය ආයතනයක් ලාභ ලබන්නේ නම් එම ලාභය සෘජුවම රජයට හිමිවිය යුතුයි. ඒවා ආයතනික කටයුතුවලට යොදාගන්නේ නම් නීතිමය ක්‍රමවේද අනුගමනය කළ යුතුමයි” යනුවෙන් කබීර් හෂීම් මහතා මෙහිදී අවධාරණය කළේය.
මෙම විශේෂ කාරක සභා රැස්වීම සඳහා සාමාජික මන්ත්‍රීවරුන් වන ආචාර්ය එම්. එල්. ආර්. එම්. හිස්බුල්ලාහ්, රුවන්තිලක ජයකොඩි, නීතිඥ තුෂාරි ජයසිංහ, සුනිල් රත්නසිරි, ඔෂානි උමංගා, සුසන්ත කුමාර නවරත්න, අජන්ත ගම්මැද්දේගේ, වානක මාදුගොඩ, ටී.කේ. ජයසුන්දර සහ ලාල් ප්‍රේමනාත් යන මහත්ම මහත්මීහු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.
















