27 April 2024
#දේශීය

රාජපක්ෂලාට තුනෙන් දෙකක් ලැබෙන්නේ නෑ – මන්ත්‍රී මනුෂ

ඉදිරි මැතිවරණයෙන් පසුව රාජපක්ෂවරු පරාජයට පත් කර සජිත් ප්‍රේමදාස මහතා අගමැති පුටුවට ගෙන ඒම සදහා සියලුම බලවේග එකතු කරගෙන පුළුල් සන්ධානයක් නිර්මාණය කර ඇති බවත් එයට කවුරුන් හෝ විරුද්ධ වන්නේ නම් ඔවුන් රාජපක්ෂවරුන්ට තුනෙන් දෙකක බලයක් ලබාදීමේ අරමුණින් කටයුතු කරන අය බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

රාජපක්ෂවරුන්ට තුනෙන් දෙකක බලයක් ලබාගැනීමට කිසිදු හැකියාවක් නොමැති බවත්, මේ අවස්ථාවේදී අවධානය යොමු කළ යුතු වන්නේ රාජපක්ෂවරුන්ට තුනෙන් දෙකක් ලැබීම වැලැක්වීමට නොව එක්සත් ජාතික පක්ෂය ඇතුළු සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවාගැනීම බව හෙතෙම පැවසිය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ගාල්ල, යක්කලමුල්ල ප්‍රදේශයේදී එක්සත් ජාතික පක්ෂ ගම් මට්ටමේ නියෝජිතයින්ගේ වැඩමුළුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා “ අපි සියලු බලමුළු එකතු කරලා සන්ධානය හදන්නේ රාජපක්ෂවරු පරාජයට පත් කිරීමටයි. කවුරුන් හෝ මේ සන්ධානයට විරුද්ධ වෙනවා නම් ඒ අය උත්සාහ ගන්නේ නැවත වරක් රාජපක්ෂවරුන්ට බලය ලබාදීමයි. මේ සන්ධානයට කවුරුන් හෝ චෝදනා කරනවා නම්, සජිත් ප්‍රේමදාස මහාතගේ නායකත්වයට, රංජිත් මද්දුමබණ්ඩාර මහත්තයාගේ මහ ලේකම්ධූරයට අභියෝග කරමින් අපි අරගෙන යන ගමනට බාධා කරනවා නම් ඒ අය රාජපක්ෂවරුන්ගේ පඩි ලයිස්තුවේ, රාජපක්ෂවරු නැවත වරක් බලයට ගෙන ඒමේ ගනුදෙනුවේ ඉන්න ඩීල් කාරයෝ කියලා අපි බය නැතිව කියනවා. මේක දේශපාලනය දන්න ඔබලාට අලුතින් කියා දිය යුතු නැහැ. මේක තමයි ඇත්ත කතාව. රනිල් වික්‍රමසිංහත් අපිට අවශ්‍යයි. සජිත් ප්‍රේමදාසත් අපිට අවශ්‍යයි. මේ නිසා තමයි හැමෝම එකතු කරගෙන පුළුල් සන්ධානයක් නිර්මාණය කළේ. අපිට අවශ්‍ය ජයග්‍රහණය කිරීමටයි. අපිට අවශ්‍ය මහින්ද රාජපක්ෂ නැවත වරක් අගමැති වීම වැලැක්වීමට තමයි අවශ්‍ය. සජිත් ප්‍රේමදාස මහත්තයා අගමැති කිරීමට තමයි අපිට අවශ්‍ය. ඒකට අපි එකතු වෙමු. ශක්තිමත් වෙමු. අපි මේ ගමන ඉදිරියට යමු. ඒ සන්ධානය ලබන සතියේ සදුදා දිනයේදී එළිදකිනවා. රාජපක්ෂවරුන්ට තුනෙන් දෙකක බලයක් ලැබෙන්නේ නෑ. ඒක හොදටම විශ්වාසයි. අපි මේ වෙලාවේ අවධානය යොමු කරන්න ඕන රාජපක්ෂවරුන්ට තුනෙන් දෙකක බලයක් ලබාගැනීම වැලැක්වීමට නොවෙයි. සජිත් ප්‍රේමදාස මහත්තාය අගමැති පුටුවේ වාඩි කරවීමට බව “මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *