27 April 2024
#දේශීය

රැකියා විරහිත උපාධිධාරීන්ට පත්විම් ලිපි බෙදාහැරීම අවසන් අදියරට

රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූවන්ට පත්වීම් ලිපි බෙදාහැරීම අවසන් අදියරට පැමිණ ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

රැකියා අපේක්ෂිතයන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ප්‍රථම උපාධි පාඨමාලාවක් හෝ ඊට සමාන සුදුසුකමක් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ 2019-12-31 දිනට පෙර සම්පූර්ණ කර තිබිය යුතු විය.

රැකියා ඇයැදුම්පත් 70,000කට අධික සංඛ්‍යාවක් එවා තිබිණ. ඉන් 56,000ක් නියමිත ආකෘතියට අනුව නිවැරදිව සම්පූර්ණ කර තිබිණ. ඒවා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම ඇතුළු ආයතන කිහිපයක පරීක්ෂණයට යොමු කරන ලදී. උපාධිය හෝ ඩිප්ලෝමා සහතිකය හෝ සහිතව මූලික සුදුසුකම් සපුරා ඇතත් දැනුම් දුන් මූලික නිර්නායක සපුරා නොතිබූ ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප වීමෙන් පසු පත්වීම් සදහා සුදුසුකම් ලබා ඇත්තේ 42,000කි.

ඔවුන්ගේ පත්වීම් ලිපි සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ස්පීඩ් පෝස්ට් කූරියර් සේවාව මගින් ලැබීමට සළස්වා තිබේ. අද සවස්වන විට සුදුසුකම් ලැබූ සියලු අපේක්ෂකයන්ට පත්වීම් ලිපි තැපැල් කර අවසන් කිරීමට නියමිතය. සියලු පත්වීම් ලිපිවලට අදාළ බෙදාහැරීමේ කුවිතාන්සිය තැපැල් දෙපාර්තමේන්තුව මගින් ගෙන්වා ගැනීමට ද සැලසුම් කර ඇත.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පත්වීම් බලධරයා වේ. පත්වීම ලැබී දින 03ක් ඇතුළත තමන්ට අයත් ප්‍රාදේශීය ලේකම්වරයාට වාර්තා කළ යුතුය. ලිපිය ලැබී දින 07ක් ඇතුළත පුහුණුව සඳහා වාර්තා නොකළොත් පත්විම අවලංගු වේ.

වසරක පුහුණු කාලය තුළ රුපියල් 20,000ක දීමනාවක් හිමි වෙයි. පුහුණු කාලයෙන් පසු විශ්‍රාම වැටුප් සහිතව රජයේ ස්ථීර සේවයේ පිහිටුවනු ලැබේ. දිස්ත්‍රික් පදනමින් පත්වීම් කෙරෙන අතර පළමු පත්වීම ලබන දිස්ත්‍රික්කයේ වසර 05ක් සේවය කිරීම අනිවාර්ය වේ.

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *