රුසියාවේ කළු මුහුද ආශ්‍රිත ප්‍රධානතම වරායක් වන ටුවාප්සේ (Tuapse) වරායට යුක්රේනය එල්ල කළ දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයකින් ගින්නක් හටගෙන ඇති අතර අවම වශයෙන් එක් පුද්ගලයකු මියගොස් ඇති බව රුසියානු බලධාරීහු අද (අප්‍රේල් 20) තහවුරු කළහ. පසුගිය අප්‍රේල් 16 වැනිදා එල්ල වූ ප්‍රහාරයෙන් හටගත් ගින්න නිවා දමා පැය කිහිපයකට පසුව මෙම නව ප්‍රහාරය එල්ල වී තිබේ.
රුසියාවේ තෙල් අපනයනය කරන ප්‍රධාන මධ්‍යස්ථානයක් මෙන්ම ‘රොස්නෙෆ්ට්’ (Rosneft) සමාගමට අයත් දැවැන්ත තෙල් පිරිපහදුවක් පිහිටා ඇති මෙම වරායට එල්ල වූ ප්‍රහාරයෙන් එක් අයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බව ක්‍රස්නෝඩර් ප්‍රාන්තයේ ආණ්ඩුකාර වෙනියමින් කොන්ඩ්‍රටීව් සඳහන් කළේය. ඩ්‍රෝන යානාවල සුන්බුන් පතිත වීමෙන් වරාය අසල පිහිටි පෙරපාසලකට, පල්ලියකට සහ නිවාස කිහිපයකට ද හානි සිදුව තිබේ.
අමෙරිකාවේ මැදිහත් වීමෙන් පැවැත්වෙන සාම සාකච්ඡා ඇනහිටීමත් සමඟ යුක්රේනය සිය ප්‍රහාර දැඩි කර ඇති බව වාර්තා වේ. විශේෂයෙන්ම වොෂින්ටනයේ අවධානය මේ වන විට ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය දෙසට වැඩි වශයෙන් යොමු වී තිබීම හේතුවෙන්, යුක්රේනය රුසියාවේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙලෙස ප්‍රහාර එල්ල කරමින් සිටී.
ප්‍රහාරය හේතුවෙන් වරායේ ප්‍රවාහන යටිතල පහසුකම්වලට දැඩි හානි සිදුව ඇති අතර, පවතින අනාරක්ෂිත තත්ත්වය හමුවේ ප්‍රදේශයේ පාසල්වල අධ්‍යයන කටයුතු ද අද දිනට අත්හිටුවා ඇත.














