ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් ගණනය කිරීම් සඳහා භාවිතා කරන විදේශ විනිමය අනුපාතය, මහ බැංකුව සහ වාණිජ බැංකු වාර්තා කරන වෙළඳපොළ සාමාන්‍ය අනුපාතයට වඩා ඉහළ මට්ටමක පවතින බව ‘නිදහස් නීතිඥයෝ’ සංවිධානය පවසයි.
එම සංවිධානය නිකුත් කළ නිවේදනයකට අනුව, 2026 මැයි 25 සිට මැයි 29 දක්වා කාලය තුළ රේගු ගනුදෙනු සඳහා ඇමරිකානු ඩොලරයක අගය රුපියල් 351.17ක් ලෙස ගැසට් කර ඇත. මෙය වත්මන් බැංකු පද්ධතියේ පවතින විනිමය අනුපාතයට වඩා බෙහෙවින් වැඩි අගයකි.
මහ බැංකුව අන්තර් බැංකු මැදිහත්වීම් හරහා ඩොලරයේ අගය පාලනය කිරීමට උත්සාහ කරන මොහොතක, රජයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන රේගුව ආනයන කටයුතු සඳහා මෙවැනි ඉහළ අනුපාතයක් භාවිතා කිරීම ගැටලුසහගත බව ඔවුන් පෙන්වා දෙයි. මෙම තත්ත්වය ආනයනික භාණ්ඩවල මිල ගණන් ඉහළ යාමට සෘජුවම බලපාන අතර, එහි අවසන් ආර්ථික බර පැටවෙන්නේ පාරිභෝගිකයා මත බවට එම සංවිධානය අනතුරු අඟවයි.
එබැවින්, රේගු ගනුදෙනු සඳහා භාවිත කරන විනිමය අනුපාතය වත්මන් වෙළඳපොළ අනුපාතයන්ට ගැළපෙන පරිදි වහාම සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස ‘නිදහස් නීතිඥයෝ’ සංවිධානය මහ බැංකුවෙන් ඉල්ලා සිටියි. මෙම නිවේදනය ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ රජිත් කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන්ගේ අත්සනින් නිකුත් කර ඇත.















