27 April 2024
#සංවර්ධන

ලියාපදිංචි ගොවීන්ගේ වගා හානි වන්දි මුදල් සති දෙකක් තුල – හැරිසන් ඇමැති කියයි

කෘෂි රක්ෂණ මණ්ඩලයෙහි ලියාපදිංචි රක්ෂණ වාරික මුදල් ගෙවූ සියලු ගොවීන්ගේ වන්දි මුදල් සති දෙකක් තුල ගෙවා දමන ලෙස කෘෂිරක්ෂණ මණ්ඩලයේ නිලධාරීන්ට කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය ආර්ථික කටයුතු සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා උපදෙස් ලබා දුන්නේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැති සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා හා ගොවි නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවේදීය.

ඒ අනුව අම්පාර, මොණරාගල හා ඇතිමලේ රක්ෂණ වාරික ගෙවූ ගොවීන් 3000 කට මෙම වගා හානි මුදල් ගෙවීමට නියමිතය. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 200 ක පමණ මුදලක් වැය වෙතැයි නිළධාරීන් අමාත්‍යවරයාට ප්‍රකාශ කළ අතර මුදල් ගෙවීම ප්‍රමාද වීමට අමාත්‍යවරයා නිළධාරීන්ගෙන් කරුණු විමසූ අතර ඒ වෙනුවෙන් මුදල් ලබා ගැනීමට අවශ්‍ය කටයුතුද හැකි ඉක්මනින් සිදුකරන ලෙස අමාත්‍යවරයා පැවසීය.

මේ අතර සේනා දළඹු වගා හානි වන්දි මුදල් පළමු අදියර ගෙවා අවසන් වී දෙවන අදියර යටතේ ගෙවීමට ඇති අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන් 12,995 ක් සඳහා මිලියන 211 මුදලක් ද මොණරාගල දිස්ත්‍රික්කයේ ගොවීන් 12,254 දෙනෙකු සඳහා රු. මිලියන 208 ක මුදලක්ද සේනා දළඹු හානි වන්දි මුදල් දෙවන වර ගෙවීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට මේවනවිටත් යොමුකර ඇති බවත් ඒ වෙනුවෙන් අනුමැතිය ද ලබා ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේය.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙහි අම්පාර දිස්ත්‍රික් සංවිධායක වසන්ත පියතිස්ස මහතා අමාත්‍යවරයාට යොමුකල අම්පාර දිස්ත්‍රික්කයේ සේනානයක ව්‍යාපාරයේ වම් ඉවුර ගොවි ජනපදය සදහා 2018 වර්ෂයේදී පැවති කීඩෑ උවදුරින් පීඩාවට පත් ගොවීන් 15,000 ක් සඳහා වන්දි ලබාදෙන ලෙස කල ඉල්ලීමටද අමාත්‍යවරයා සිය අවධානය යොමු කළේය.

ඒ අනුව හානියට පත් ගොවීන් 15,000 වෙනුවෙන් කඩිනමින්ම කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත යොමුකරන බවට අමාත්‍යවරයා ගොවි නියෝජිතයන්ට පොරොන්දුවිණි.

බෝංචි බීජ නිශ්පාදකයන් මුහුණපා ඇති ගැටළු පිළිබඳවද මෙහිදී අදහස් පල වූ අතර එහිදී මන්දාරම් නුවර ප්‍රදේශයේ බෝංචි බීජ ගොවීන්ට අත්ව ඇති ඉරණම අමාත්‍යවරායට ගොවි නියෝජිතයන් පැහැදිලි කලේය.

ඒ අනුව දැනට පෞද්ගලික අංශය බීජ කිලෝවක් මිලදී ගනු ලබන මිල රු. 500 ක් බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මිලදී ගන්නා මිල 1,200 ක් වුවත් අතරමැදියන් විසින් රු. 500 ට මිලදී ගන්නා බීජ කිලෝවක් වෙළදපලෙහි රු. 1,800 ක මුදලට අලෙවි කිරීම අසාධාරණ බව ගොවි නියෝජිතයන් විසින් අමාත්‍යවරයාට පෙන්වාදෙන ලදී.

වහාම මෙම සතිය තුල බීජ කමිටුව කැඳවා රටට අවශ්‍ය බීජ නිෂ්පාදනය හඳුනාගෙන අවශ්‍යතාවය අනුව බීජ නිෂ්පාදනය කිරීමටත් ගොවියාට සාධාරණ මිලක් ලබාදීමට ක්‍රමවේදයක් සැකසීමට පියවර ගන්නා ලෙස එහි සිටි කෘෂිකර්ම අධ්‍යක්ෂක ජනරාල්වරයාට අමාත්‍යවරයා උපදෙස් ලබාදුන්නේය.

ගොවීන් වෙනුවෙන් රුපියල් 10,000 ක්ව පැවැති වගා හානි වන්දි මුදල රුපියල් 40,000 දක්වා වැඩි කිරීම පිළිබඳව ද බිත්තර ගොවීන්ගේ ගැටළු විසදා බිත්තර ගොවීන්ටම මිල තීරණය කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳව නාමල් කරුණාරත්න මහතා අමාත්‍යවරයා වෙත සිය ප්‍රසාදය පිරිනැමීය.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *