27 April 2024
#දේශීය

දියුණු රටවල නව අධ්‍යාපන ක්‍රම රටට හඳුන්වාදීම අවශ්‍ය බව ජනපති කියයි

විශ්වවිද්‍යාලවලින් පිට වන උපාධිධාරින් රැකියා ඉල්ලා මහපාරේ උද්ඝෝෂණය කරන ක්‍රමයක් රටේ ඇතිවී තිබෙන්නේ විද්‍යාවෙන්, තාක්ෂණයෙන් හා පර්යේෂණවලින් බැහැර වූ අධ්‍යාපන ක්‍රමය නිසා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

එබැවින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිවල අවශ්‍ය මූලික වෙනස්කම් සිදුකරමින් ලෝකයේ දියුණු රටවල නව අධ්‍යාපන ක්‍රම රටට හඳුන්වාදීම සහ ක්‍රියාත්මක කිරීම ඉතා අවශ්‍ය බව ජනාධිපතිවරයා කියා සිටියේ ඊය‍ෙ (25) පෙරවරුවේ පොළොන්නරුව ගල්ලෑල්ල ජාතික ක්‍රීඩාංගණයේ දී ආරම්භ කෙරුණු “ශිල්ප සේනා” ප්‍රදර්ශනයේ දෙවන අදියරේ සමාරම්භක උත්සවය අමතමිනි.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ශිල්ප සේනා ප්‍රදර්ශනයේ දෙවන අදියර දැනුම, නව නිපැයුම් සහ විනෝදාත්මක අංග රැසක් සමගින් එය ලබන 29 වනදා දක්වා පොළොන්නරුව ගල්ලෑල්ල ජාතික ක්‍රිඩාංගණයේ දී පැවැත් වේ.

මෙහි සමාරම්භක අවස්ථාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ලෝකය දියුණු වන්නේ පර්යේෂණ මඟින් ඇතිවන විද්‍යාවේ හා තාක්ෂණයේ නව නිපැයුම් සමඟ බවයි.

කාලගුණික හා දේශගුණික විපර්යාස හේතුවෙන් අපේ රටේ ජනතාවට මුහුණදීමට සිදුව ඇති අභියෝග ජය ගැනීම සඳහා විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ ක්ෂේත්‍රයේ සහාය වඩා තදින් දැනී ඇති මෙම යුගයේ ඒ පිළිබඳ ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ ප්‍රමුඛ අවධානයක් යොමු වීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ ක්ෂේත්‍රවල ද බොහෝ පිරිසක් රට ගැන නොසිතා තමන් ගැන පමණක් සිතා කටයුතු කිරීම රටක් ලෙස සංවර්ධනය කරා යන ගමනේ දී ප්‍රබල අභියෝගයක් වී ඇති බව මෙහි දී පෙන්වා දුන් ජනාධිපතිවරයා කියා සිටියේ නිදහස් අධ්‍යාපනය ලබන විද්වතුන් රට ගැන නොව තමන් ගැන පමණක් සිතා රට හැරයාම හේතුවෙන් ඉංජිනේරු, වෛද්‍ය සහ ගණකාධිකාරි සේවාවල රටට අවශ්‍ය විද්වතුන් ප්‍රමාණයවත් රටට අහිමිව තිබීම බලවත් ගැටලුවක්ව පවතින බවයි.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් චින්තක එස්. ලොකුහෙට්ටිගේ මහතා ඇතුළු නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *