27 April 2024
#සංවර්ධන

ලොකු සද්ද නෑ වැඩ ඉවරයි – ඇමැති පාඨලි

2020 වන විට නිවාස 20,000ක වැඩ අවසන් කරන බවත් ඒ වගේම 2024 වන විට ලෑලි පෙට්ටිවලින් හදපු කිසිම පැල්පතක් නැති ශක්තිමත් නිවාසයක හිමිකාරයෙකු බවට පත් කිරීමට බලාපොරොත්තු වන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මැද කොළඹ සංවර්ධනය ගැන විද්වතුන්, මාධ්‍යවේදීන්, වෙළෙඳ ප‍්‍රජාව දැනුවත් කෙරෙන විශේෂ කතිකාවතට සහභාගී වෙමිනි.

එහිදි අමාත්‍යවරයා කියා සිටියේ “ මම බොහෝම පැහැදිලිව කියනවා මැද කොළඹ ඊලග අවුරුදු තුනේදී මෙම අඩු පහසුකම් ජනතාව වෙනුවෙන් නිවාස 10,000කට වැඩි ප‍්‍රමාණයක් සූදානම් කරනවා කියන එක. ඒ වගේම ඒ නිවාසත් එක්ක අපි අලූත් ජීවිතයක් ආරම්භ කරන්න ඕනෙ. අපිට හැමදාම මත්ද්‍රව්‍ය එක්ක, ඒ වගේම මේ පාතාල ලෝකය එක්ක, දුරාචාරය එක්ක ජීවත්වෙන්න බෑ. අපේ දරුවන්ටත් හොඳ අනාගතයක් හොඳ පුරවැසිභාවයක් ශක්තිමත්ව මේ සමාජයේ හිස කෙලින් තියාගෙන ඉන්න පුලූවන් තත්ත්වයක් උදාකර ගන්න ඕනෙ. අන්න ඒ සඳහා ”නිවසක් සමග ජීවිතයක්” වැඩපිළිවෙල අපි ආරම්භ කරලා තියෙනවා. අපි ආඩම්බරයෙන් කියනවා අද වෛද්‍ය පීඨයට පළවෙනි වතාවට අපේ දරුවෙක් ගියා. කළමනාකරණ පීඨයට පළවෙනි වතාවට අපේ දරුවෙක් ගියා. බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී විශ්වවිද්‍යාලවලට සිය දහස් ගණනින් අපේ දරුවෝ ඇතුල්වෙයි කියලා. ඒ වගේම මේ උතුරු කොළඹ, මැද කොළඹ තියෙනවා ලොකු අඩුපාඩුවක්, භාෂා තුනෙන්ම ක‍්‍රියාත්මක වෙන හොඳ පාසල් පද්ධතියක් නොමැති වීම. ඉදිරි කාලයේදී අග‍්‍රාමාත්‍යතුමාගේ මගපෙන්වීම යටතේ ඒ පාසල් පද්ධතියක් ඇති කිරීමට අපි කටයුතු-කරන බවත් ඔබ සැමට මතක් කරන්න කැමතියි. මේ රජය බලයට පත්වෙන කොට 1958 ඉඳන් විවිධ ආණ්ඩු මේ රටේ අඩු පහසුකම් ජනතාව වෙනුවෙන් ගොඩනගා තිබුණේ නිවාස දස දහසකට ආසන්න ප‍්‍රමාණයක්. අපි ඒ ගැන බණ්ඩාරණායක ආණ්ඩුවට, අපි ඒ ගැන ජයවර්ධන ආණ්ඩුවට, ඒ වගේම රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමාට විශාල විප්ලවයක් මේ කලාපයේ සිදුකළා. චන්‍ද්‍රිකා කුමාරතුංග මැතිනියට, මහින්ද රාජපක්ෂ මහත්තයාට ස්තූතිය පිරිනමන්න ඕනෙ. නිවාස 10,000ක් ඇතිකරලා කරපු ඒ ක‍්‍රියාදාමයට. නමුත් මේ රජය ලොකු සද්දයකින් තොරව කොළඹ නගරය ඇතුලත මේ වන කොටත් නිවාස 15,000ක වැඩ අවසන් කර ඇති බව කියන්න ඕනෙ. ඒ වගේම 2020 වන විට නිවාස 20,000ක වැඩ අවසන් කරනවා. ඒ වගේම අපේ බලාපොරොත්තුව 2024 වන විට ලෑලි පෙට්ටිවලින් හදපු කිසිම පැල්පතක් නැති ශක්තිමත් නිවාසයක හිමිකාරයෙක් බවට කොළඹ නගරවාසී ඔබව පත්කරන්න කියන එක අපේ අධිෂ්ඨානය බව ප‍්‍රකාශ කරනවා. යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *