2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ප්‍රකාරව, මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය හරහා වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලසීමාව දඩයකින් තොරව ලබන ජූලි මස 7 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දීර්ඝ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
මීට පෙර මෙහි අවසන් දිනය ජූනි 30 වැනිදා ලෙස නියම කර තිබුණ ද, පසුගිය ජූනි 28 වැනිදා සිට විශාල පිරිසක් එකවර පද්ධතියට පිවිසීම නිසා ඇති වූ අධික තදබදය හේතුවෙන් බොහෝ නිලධාරීන්ට තාක්ෂණික ගැටලුවලට මුහුණ දීමට සිදු විය. ඒ අනුව, ජූනි 30 හෝ ඊට පෙර පද්ධතියේ ලියාපදිංචි වීමට උත්සාහ කර තාක්ෂණික දෝෂ නිසා එය සම්පූර්ණ කරගත නොහැකි වූ නිලධාරීන් වෙනුවෙන් කොමිෂන් සභාව මෙම සහනය සලසා ඇත.
ලබන අගෝස්තු 31 වැනිදා දක්වා වත්කම් ප්‍රකාශ ඇතුළත් කිරීමේ හැකියාව පැවතියද, ජූලි 7 වැනිදායින් පසුව ඉදිරිපත් කරන ප්‍රකාශ සඳහා දඩ මුදලක් අය කරන බව කොමිෂන් සභාව අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් පැනනඟින ගැටලු නිරාකරණය කරගැනීම සඳහා 0767011954 හෝ 0112587287 යන දුරකතන අංක ඇමතිය හැකිය.














