27 April 2024
#දේශීය

වන අලි පහරදීමකින් දෙදෙනකුට දිවි අහිමි වෙයි

අනුරාධපුර, එප්පාවල පොලිස් වසමේ ගම්මාන දෙකකදී වන අලි පහරදීමෙන් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එප්පාවල යෝධඇළගම පදිංචි ඩී.එම් සෝමසිරි දිසානායක (66) නම් තිදරු පියෙකු හා එප්පාවල, මාවතවැව, කැලේගම ගම්මානයේ පදිංචි යූ.බී ඉලංගසිංහ (55) නම් තිදරු ගොවි මහතෙකුයි.

ඊයේ (26) පස්වරුවේ නිවසේ අවශ්‍යතාව සඳහා දර කැඩීමට එප්පාවල, කෝන්වැව ප්‍රදේශයේ පිහිටි තේක්ක රක්ෂිතයට ගිය ගිය සෝමසිරි දිසානායක මහතාට වන අලි පහරදීමක් සිදු වී ඇත. දර කැඩීමට රක්ෂිතයට ගිය ඔහු සවස් වන විටත් නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් ඇතුළු ගම්වාසීන් හා එප්පාවල පොලිස් ස්ථාන නිළධාරීන් ඔහු සම්බන්ධයෙන් සොයා බැලීමේදී තේක්ක රක්ෂිතය තුළ වන අලි පහරදීමකට ලක්ව ජීවිතක්ෂයට පත්ව සිටියදී ඔහුගේ මළ සිරුර රක්ෂිතය තුළදී  සොයා ගෙන ඇත. ඒ අසලම ඔහු දර කැඩීම සඳහා ගමන් කළ යතුරු පැදියද පොලීසිය සොයා ගෙන ඇත.

මේ අතර, එප්පාවල, මාවතවැව, කැලේගම ගම්මානයේ පදිංචිව සිටි යූ.බී ඉලංගසිංහ මහතා තම නිවසේ සිට කිලෝ මීටරයක් පමණ දුරින් පිහිටි තම දියණියගේ නිවසට ඊයේ (26) රාත්‍රී 7.00 ට පමණ පා ගමනින් ගමන් කරමින් සිටියදී  එම ගම්මනායේ ප්‍රධාන මාර්ගය අසලදී වන අලි පහරදීමකට ලක්ව එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.

 

ගම්වාසීන් කියා සිටින්නේ නිරන්තරයෙන් තම ගම්මානයට වන අලින් පැමිණෙන බවත්, වන අලි ගම්වැදීම පාලනයට ඉදි කළ අලි වැට ප්‍රමාණවත් නොවන බවයි.අලි වැට කඩා ගෙන නිරන්තරයෙන් අලි ගම්වදින බවද, වන අලි පළවා හැරීමට අලි වෙඩි නොමැති බවද ඔවුන් පවසති. සවස් වන විට අලින් ගම්මානයේ ඔබ-මොබ සැරිසැරීම හේතුවෙන් සවස් වන විට නිවෙස් වලින් පිටතට ඒමට පවා නොහැකි බව ඔවුන් පවසති.තම ගම්මානයට නිරන්තරයෙන් සිදු වන වන අලි තර්ජනයන් වලක්වා දෙන ලෙස ඔවුන් බළධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

 

ජීවිතක්ෂයට පත් පුද්ගලියින් දෙදෙනාගේ මළ සිරුරු එප්පාවල ප්‍රාදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇත.සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *