27 April 2024
#දේශීය

මාතලේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන සාර්ථකයි

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සදහා ග්‍රාමීය ආර්ථීක පුනර්ජීවන කෙන්ද්‍ර සවිබල ගැන්වීමේ වැඩසටන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ ආර්ථික පුනර්ජීවන කමිටු පිහිටුවා අවසන් කොට තිබේ.

මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මාතලේ දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය තහවුරු කිරිමේ කමිටු රැස්වීමේදී මෙම තොරතුරු අනාවරණය විය.

මාතලේ දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් තම උපරිම දායකත්වය ලබා දෙන බව දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානින්, ව්‍යාපාරික ප්‍රජාව හා රාජ්‍ය නොවන ආයතන නියෝජිතයෝ මෙහිදී ප්‍රකාශ කළහ.

ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණ වැඩ සටහන තුලින් කිසිදු පුරවැසියෙකු ආහාර නොමැති කම නිසා කුසගින්නේ නොතැබීමටත් කිසිදු දරුවෙකු මන්ද පෝෂණය තත්වයට ගොදුරු නොවීමටත් අවශ්‍ය පියවර ගැනීම ප්‍රධාන අරමුණ වේ.

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සදහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒ්කාබද්ධ යාන්ත්‍රණය ජනාධීපති කාර්යාලය ක්‍රියාත්මක කරනු ලබයි. මේ යටතේ සෑම ග්‍රාම නිලධාරි වසමකම ග්‍රාමිය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර පිහිටවීමට පියවර ගන්නා අතර එහි කමිටු සාමාජිකයන් වන්නේ ආර්ථීක සංවර්ධන නිලධාරි, ග්‍රාම නිලධාරි, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි, සමෘද්ධී සංවර්ධන නිලධාරි , කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර, පාසැල්වල විදුහල්පතිවරුන් , සිවිල් සංවිධාන නියෝජිතයින්, ආගමික සංවිධානවල නියෝජිතයන්ය. ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් මෙම වැඩ සටහන අධීක්ෂණ යාන්ත්‍රණයන් ක්‍රියාත්මක කෙරේ.

මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති කමිටු රැස්වීමට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) නිශාන්ත කරුණාතිලක, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) චමිලා අතපත්තු, දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ ශාලිකා කපුකොටුව යන මහත්ම මහත්මීන් ඇතුලු රාජ්‍ය නිලධාරින්, රාජ්‍ය නොවන සංවිධාන, ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරමින් එහි සමාජිකයින් ඇතුලු පිරිසක් සහභාගි විය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *