27 April 2024
#දේශීය

වර්තමාන ගෝලීය අභියෝගවලට විසඳුම් ලබාදීම සඳහා ශ්‍රී ලංකාව ද ඇප කැපවී සිටිනවා

ගෝලීය දකුණේ රටවල, විශේෂයෙන් සංවර්ධනය වන කුඩා රාජ්‍යවල ගැටලු සම්බන්ධයෙන් හඬක් නැඟීම “නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ ” සදාචාරාත්මක යුතුකමක් බව විදේශ ලේකම් ආර්යසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ 74 වැනි සැසි වාරයට සමගාමීව ඊයේ (26) දින නිව්යෝර්ක් නුවර පැවති නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ (NAM) අමාත්‍ය මට්ටමේ රැස්වීම අමතමින්.

ගෝලීය බහුපාර්ශ්වීය යාන්ත්‍රණ දුර්වල වී ඇති අවධියක බැන්ඩුන්ග් මූලධර්මවල අදාළභාවය ඔහු අවධාරණය කළේය. ගැටුම්, සංක්‍රමණ, දේශගුණික විපර්යාස හා බෝවන රෝග වැනි ජාතික දේශසීමා ඉක්මවමින් ක්‍රියාත්මක වන වර්තමාන ගෝලීය අභියෝගවලට විසඳුම් ලබාදීම පිණිස නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය දරන ප්‍රයත්න සඳහා ශ්‍රී ලංකාව තම ඇප කැපවී සිටින බව ලේකම්වරයා තහවුරු කළාය.

දේශගුණික විපර්යාසය වැනි සාම්ප්‍රදායික නොවන ආරක්ෂක තර්ජන, ආර්ථික හා සමාජයීය අභියෝගයක් ලෙස පමණක් නොව, මිනිසා විසින් ඇති කරනු ලබන විනාශයන් හේතු කොට ගෙන සමාජ හා රටවල් අවදානමට ලක්කරන ආරක්ෂක තර්ජනයක් ලෙස පවතියි.

පසුගිය 23 වනදා දින එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ පැවති එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ දේශගුණික ක්‍රියාකාරී සමුළුව අමතමින්, ලේකම් ආර්යසිංහ මහතා කියා සිටියේ විශේෂයෙන්, ශ්‍රී ලංකාව වැනි දූපත්වාසී රටවල්වලට එල්ල වන දේශගුණික විපර්යාසවල අයහපත් බලපෑම් පිළිබඳව කණස්සල්ලක් පළ කරන බවයි. චිලී රාජ්‍යයේ දී නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත COP 25 නම් පාර්ශ්ව සමුළුව මඟින්, පැරිස් ගිවිසුම මඟින් පැවරෙන වගකීම් සපුරාලමින් දේශගුණික විපර්යාස අවම කිරීමෙහිලා දරන ප්‍රයත්න යළි ප්‍රබෝධමත් කරනු ඇතැයි ද විදේශ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

වර්ගවාදයේ සියලු ආකාර, වෛරය හා ප්‍රචණ්ඩකාරී අන්තවාදය මැඩපැවැත්වීම ශ්‍රී ලංකාව ඉතා වැදගත් කොට සලකන බවත්, ශ්‍රී ලංකාවේ දී පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාර හේතුවෙන් මතු වී ඇති හා පෙන්නුම් කර ඇති නව තර්ජනය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවක් පවතින බවත් විදේශ ලේකම් ආර්යසිංහ මහතා ප්‍රකාශ කළේය.

මෙවැනි ගෝලීය උවදුරු මඟින් සියලු ජාතිකයන්ගේ ආරක්ෂාවට තර්ජන ඇති කරන බවත් එක් රටකට තනිවම මේවා මැඩපැවැත්විය නොහැකි බවත් ඒ සඳහා සාමූහිකව ප්‍රයත්න යෙදීම අවශ්‍ය වන බවත් අවධාරණය කළ ඒ මහතා මෙම ගෝලීය ආරක්ෂක තර්ජනවලට ඵලදායී ලෙස හා එකමුතුභාවයකින් යුතුව සාමූහික දායකත්වය ලබා දෙන ලෙස නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයෙන් ඉල්ලා සිටියේය. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කර ඇති නිදහස් සමාජයක, වෛරී ප්‍රකාශ සහ අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය වේදිකා අයුතු ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් වැඩිවෙමින් පවතින තර්ජනය පිළිබඳව සවිඥානකව සිටීමේ අවශ්‍යතාවක් පවතින බව ශ්‍රී ලංකාව විශ්වාස කරන බව විදේශ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

“ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව පවත්වා ගැනීමේ සහ රටවල් අතර මිත්‍ර සබඳතා හා සහයෝගීතාව පෝෂණය කිරීමේ විධික්‍රමයක් වශයෙන් ස්වෛරීභාවයේ හා දේශපාලන නිදහසේ මූලධර්ම සුරැකීම” යන්න මෙවර අමාත්‍ය මට්ටමේ රැස්වීමේ තේමාව වන අතර, මෙහි ප්‍රතිඵල ලේඛනයක් මෙම රැස්වීමේ දී සම්මත කරන ලදී. ශ්‍රී ලංකාව 1955 බැන්ඩුන්ග් සමුළුවේ සම අනුග්‍රාහක රටක් මෙන්ම නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ ආරම්භක සාමාජික රටක් ද වෙයි. මෙම කණ්ඩායම පසුගිය දශක හය පුරාම අඛණ්ඩ ප්‍රගතියක් ලබා ගෙන ඇති අතර, 120ක් වන එහි වර්තමාන සාමාජික රටවල් සංඛ්‍යාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *