ශබ්ද විකාශන යන්ත්‍ර අලුත්වැඩියා කිරීමේ සහ කුලී පදනම මත ලබාදීමේ ව්‍යාපාරයක නිරත පුද්ගලයකුගේ මුහුණට ගඩොල් බාගයකින් දරුණු ලෙස පහර දී, ඔහු පැලඳ සිටි රුපියල් ලක්ෂ 9කට ආසන්න වටිනා රන්මාලය කොල්ලකා පලාගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා හෝමාගම මූලස්ථාන පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.
මෙලෙස අනතුරට හා කොල්ලකෑමට ලක්ව ඇත්තේ කිරිවත්තුඩුව, පිටිපන දකුණ ප්‍රදේශයේ වෙළෙඳසලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකි.
ඉකුත් මැයි 30 වැනිදා පුද්ගලයකු මෙම වෙළෙඳසල වෙත පැමිණ කැඩී ඇති ‘බෆල්’ (Baffle) එකක් අලුත්වැඩියා කර ගැනීමට අවශ්‍ය බව පවසා ඇත. ව්‍යාපාරිකයා එය සාදා ඔහුට පණිවිඩයක් දීම සඳහා දුරකතන අංකයක් ඉල්ලා සිටිය ද, සැකකරු එය ලබා නොදී පිටව ගොස් තිබේ. පසුව ඉකුත් (09) වැනිදා නැවත වෙළෙඳසල වෙත පැමිණි එම පුද්ගලයා, තමන් අලුත්වැඩියාව සඳහා දුන් බෆල් අනවශ්‍ය බවත්, තමන් ළඟ තිබෙන වෙනත් බෆල් දෙකක් ලබාදෙන ලෙසත් ඉල්ලා ඇත.
ව්‍යාපාරිකයා එම බෆල් දෙක ගලවන අවස්ථාවේදී, ක්‍රියාත්මක වූ සැකකරු එකවරම තමා අත තිබූ ගඩොල් භාගයකින් ව්‍යාපාරිකයාගේ මුහුණට පහර දී තිබේ. පහරදීමෙන් ඇස් නිලංකාර වී ව්‍යාපාරිකයා බිම ඇදවැටුණු අවස්ථාවේදී සැකකරු ඔහුගේ බෙල්ලේ තිබූ රන්මාලය ද කඩාගෙන වහාම එම ස්ථානයෙන් පලාගොස් ඇති බව පොලිස් පැමිණිල්ලේ සඳහන් වේ.
සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා හෝමාගම මූලස්ථාන පොලිසිය අවට CCTV දර්ශන ද උපයෝගී කරගනිමින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















