27 April 2024
#දේශීය

වැඩි මිලට විදුලිය නිපදවන්න මට කිසිම අවශ්‍යතාවයක් නෑ – විදුලි ඇමැති කියයි

විකුණන මිළට වැඩි මිළකට විදුලිය නිපදවන වැඩසටහනකට යොමුවන්නට තමාට කිසිම අවශ්‍යතාවක් නොමැති බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (28) පෙරවරුවේ කොළඹ 03, ජර්මානු තානාපති කාර්යාලයේ පැවති, හරිත බලශක්ති ශූරයා – 2019 තරගාවලිය ප්‍රකාශයට පත්කිරීමේ උත්සව අවස්ථාවට සහභාගිවූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “කිසිසේත්ම විකුණන මිලට වැඩි මිලකට විදුලිය නිපදවන වැඩසටහනකට යොමුවන්නට මට අවශ්‍යතාවක් නැහැ. මම නොදන්නා ක්ෂේත්‍රයක් නිසා, විදුලිබල මණ්ඩලයේ අවශ්‍යතාව කුමක්ද කියලා ඔවුන් ලිඛිතව දැනුම් දුන්නට පසුව ඒක සියළුදෙනා සමග සාකච්ඡා කරලා තමයි කටයුතු කරන්නේ. විදුලිබල මණ්ඩලය අපට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදෙන එක සම්බන්ධයෙන් අපි සහතික විය යුතුයි. ඒ වැඩපිලිවෙල තමයි අපි මේ කරගෙන යන්නේ. මේ තුළින් මම ප්‍රධාන වශයෙන් අරමුණු කරන්නේ අපේ අහිංසක පාරිභෝගික ජනතාව මෙතෙක් අධික මිලක් ගෙවපු එකට යම් ප්‍රතිලාභයක් ලබාගන්න පුළුවන් වැඩපිලිවෙලක් සකස් කරන්නයි. සෑම ව්‍යාපාරයකම වගේ විදුලිබල ක්ෂේත්‍රයේත් ගැටළු තිබෙනවා. ගැටලු නිරාකරණය කරලා, තරගකාරීත්වයට මුහුණ දීලා, අඩුම වියදමකින් විදුලිය උත්පාදනය කිරීමේ වැඩපිළිවෙලකට අප අවතීර්ණ වියයුතුයි. මේ සදහා මගේ මූල්‍ය දැනුම පාවිච්චි කරලා, හැමතැනම පුළුවන් තරම් වියදම් අඩුකරගෙන කටයුතු කරගෙන යනවා. මේ අවස්ථාවේ විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයන් එකතුවෙලා නව උනන්දුවකින් වැඩකිරීම මට ලොකු ශක්තියක් වෙලා තිබෙනවා” යැයි පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *