27 April 2024
#දේශීය

විහිළු කරන වේලාවක් නෙමෙයි – අසත්‍ය ප්‍රචාර කළ විශ්වවිද්‍යාල සිසුවාට උසාවියෙන් අවවාද

පසුගිය 13 වැනිදා විදේශ සංචාරයක් සඳහා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගමන් ගත් ගුවන් යානය අනතුරකට ලක් වී ඇති බවට ව්‍යාජ පුවතක් ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරය කළ විශ්ව විද්‍යාල සිසුවෙකු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළාය.

එලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත්තේ සංඛ ප‍්‍රමෝද් ආරියවංශ නැමැති පිළියන්දල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.

මෙම විශ්ව විද්‍යාල සිසුවා එකී ප‍්‍රචාරය නිර්මාණය කිරීම නොව අන් කිසිවකු විසින් අන්තර්ජාලයට මුදාහරින ඔහුගේ මුහුණු පොත හරහා හුවමාරු කරගැනීමක් පමණක් බව පෙන්වා දුන් ඔහුගේ නීතිඥවරයා ඕනෑම කොන්දේසියක් යටතේ සැකකරු ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙය ඉතා සංයමයෙන් කටයුතු කළ යුතු කාලයක් මිස විහිළු තහළු කිරීමට කාලයක් නොවන බව විවෘත අධිකරණය හමුවේ පෙන්වා දුන් අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය විත්තිය කළ ඇප ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් එම නියෝගය කළාය.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශය මේ වනවිටත් මෙවන් අසත්‍ය ප්‍රචාර පතුරවන්නන් පිළිබදව සොයා බලමින් ඔවුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *