27 April 2024
#ව්‍යාපාර

ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර ආයෝජන අවස්ථාවන්හි පෙරළියක්…

ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව යන දෙරටටම පොදු ඉතිහාසයක් පැවතීම, විශිෂ්ට ද්විපාර්ශ්වික දේශපාලන සබඳතා පැවැත්වීම හා බහුපාර්ශ්විය ක්ෂේත්‍රයේදී දෙරට සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කිරීම යන කරුණු සැලකිල්ලට ගනිමින් ආර්ථික කටයුතුවලදී ශ්‍රී ලංකාවට නැවත වරක් ප්‍රමුඛතාව දෙන්නැයි විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ඉකුත් දා ඉල්ලීය.  

ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර ද්විපාර්ශ්වික දේශපාලන උදේශනවල ආරම්භ සැසිය අමතමින් රවිනාථ ආර්යසිංහ මහතා එම ඉල්ලීම කළේය. කයිරෝ අගනුවර පිහිටි ඊජිප්තු විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඉකුත් දා (12) එම සමාරම්භක සැසිය පැවැත්විණි.

ආසියාව සඳහා ඊජිප්තු සහකාර විදේශ අමාත්‍ය තානාපති හැනී සෙලීම් මහතා මෙම සැසිවාරයේ සම සභාපතීත්වය හෙබවීය.

ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපතිනි දමයන්ති රාජපක්ෂ මහත්මිය හා විදේශ සබඳතා අමාත්‍යාංශයේ හා කයිරෝහි ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ නිලධාරීහු විදේශ ලේකම් ආර්යසිංහ මහතා සමඟ මෙම සාකච්ඡාවලට සහභාගී වූහ.

සහකාර අමාත්‍ය තානාපති සෙලීම් මහතා මෙහිදි ශ්‍රී ලංකා නියෝජිත පිරිස පිළිගත් අතර ඊජිප්තුව සහ ශ්‍රී ලංකාව අතර තිබෙන ඓතිහාසික සබඳතා සම්බන්ධයෙන් ද අදහස් දැක්වීය.

ගෝලීය අභියෝගවලට මුහුණදීමේ දී අප දෙරට වසර ගණනාවක් මුළුල්ලේ එකිනෙකාට සහය දක්වා තිබීම හා වර්තමානයේ දෙරටම ත්‍රස්තවාදය මර්දනය කිරීමට උනන්දුවක් දැක්වීම පිළිබඳව අවධානයට ලක්කරමින්, වෙළඳ, අයෝජන, තාක්ෂණය හා දැනුම බෙදාගැනීම යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අපේක්ෂිත මට්ටමට දෙරටේ සබඳතා වැඩිදියුණු කළ යුතු යැයි ද හෙතෙම පැවැසීය.

නිදහස වෙනුවෙන් සටන් වැදි අහ්මඞ් ඔරාබි පාසා නම් ඊජිප්තු ජාතිකයා 1883 වසරේ දී ශ්‍රී ලංකාවට නෙරපා දැමීම මඟින් දිරිගැන්වුණු, ශතවර්ෂ ගණනාවක් ඉපැරණි වෙළෙඳ සබඳතා දක්වා වූ අතීතයකට දිව යන ශ්‍රී ලංකාව හා ඊජිප්තුව අතර පවතින සබඳතා 1956 සූවස් අර්බුදයේදීත්, අප්‍රිකානු විමුක්ති අරගලයේදීත් ඉන් අනතුරුව නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය පිහිටුවීමේ දී බහුපාර්ශ්වික හවුල්කාරීත්වයටත් දක්ෂිණ-දක්ෂිණ සහයෝගීතාව වැඩිදියුණු කිරීමේදීත් ශ්‍රී ලංකාව ලබා දුන් සහාය තුළින් ශක්තිමත් වූ බව ලේකම් ආර්යසිංහ මහතා සමාරම්භක සැසියේදී කීවේය. 

* සටහන : ජනිත් විපුලගුණ

Leave a comment

Your email address will not be published. Required fields are marked *