27 April 2024
#දේශීය

ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවය ස්ථාපනය කිරීමට යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි

ශ්‍රී ලංකා ගුරු උපදේශක ‍සේවාව නමින් වෙනම සේවාවක් ස්ථාපනය කිරීම වෙනුවෙන් සම්පාදනය කරන ලද ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවා ව්‍යවස්ථාවට අද (11) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී කැබිනට් අනුමැතිය හිමි වූ බව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයට මෙන් ම විෂයමාලා නවීකරණයේ දී හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නියාමනය කිරීමේ දී ගුරු උපදේශකවරුන්ගෙන් ඉමහත් දායකත්වයක් ලැබෙන අතර, විධිමත් සේවා ව්‍යවස්ථාවක් නොමැති ව වසර ගණනාවක් තිස්සේ නොවිසඳී පැවති මෙම ගැටළුවට ස්ථාවර විසඳුමක් ලබාදීමට හැකිවීම සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් බවයි. විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ඒ සඳහා තමාට නායකත්වය ලබාදීමට හැකිවීම සතුටට කරුණක් බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.

ගුරු උපදේශක කාර්යය 1960 දශකයේ සිට ම ක්‍රියාත්මක ව පවතින අතර, මෙම සේවාවේ වැදගත්කම සහ කාලීන අවශ්‍යතාව තමා විසින් හඳුනාගත් නිසා 2016 වසරේ සිට මේ සම්බන්ධ ව ගත් කඩිනම් ක්‍රියාමාර්ග හේතුවෙන් මේ අයුරින් ශ්‍රී ලංකා ගුරු උපදේශක ‍සේවාව ස්ථාපනය කිරීමට හැකි වූ බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව, ඉදිරියේ දී ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවාව සඳහා උපදේශකවරුන් 4,471ක් බඳවා ගැනෙන අතර, මෙම සේවාව ස්ථාපනය කිරීමත් සමඟ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙතෙක් පැවති ශ්‍රී ලංකා ගුරු සේවය, ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, අතරට අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවාව ද අලුතින් එක්වන අතර, එහි ගෞරවය වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයාට හිමිවෙයි.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *