27 April 2024
#දේශීය

සංචාරකයන් ගෙන්වා ගැනීමට විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් – ඇමැති ප්‍රසන්න

ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා ප්‍රධාන රටවල් 05ක් ඉලක්ක කර ගනිමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ අනුව ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ඉන්දියාව, රුසියාව යන රටවල මෙම ප්‍රවර්ධන කටයුතු සිදුකෙරේ. ඊට අමතරව කසකස්තාන‍ය, යුක්රේනය සහ මැදපෙරදිග කලාපයේ ද ප්‍රවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස ද ඇමතිවරයා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ ප්‍රධානීන් සමග අද (25) අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදී මෙම උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ගෝලීය ප්‍රවර්ධන වැඩසටහනට අමතරව මෙම විශේෂ ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන ලෙස ද ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව ඉදිරි මාස කිහිපය තුල එම රටවල සංචාරකයන් ඉලක්ක කර ගනිමින් කෙටි කාලීන හා දීර්ඝ කාලීන ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කෙරෙනු ඇත. සංචාරක නියෝජිත හමු මාධ්‍ය හා සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් මේ යටතේ ක්‍රියාත්මක කෙරේ. මෙරට සංචාරක නියෝජිත ආයතන සහ අදාල රටවල සංචාරක නියෝජිත ආයතන සමග මුහුණට මුහුණ සාකච්ඡා සංවිධානය කොට මෙරටට සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා කටයුතු කරන ලෙස ඇමතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය. මෙම ප්‍රවර්ධන කටයුතු වලදී ශ්‍රී ලංකාව කොවිඩ් එන්නත්කරණය සාර්ථකව සිදුකල රටක් ලෙස පුළුල් ප්‍රචාරයක් ලබාදීමට ද ‍මෙහිදී තීරණය කෙරිණි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදි අවධාරණය කලේ ඉදිරි මාස දෙක තුල මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සංචාරක සංවර්ධන අධිකාරියේ ඉලක්කය විය යුතු බවයි. ආයතනයේ සියලු කටයුතු ඒ මත පදනම්ව ක්‍රියාත්මක කල යුතු බවද ඇමතිවරයා කීවේය. නිර්මාණශීලි අදහස් ඔස්සේ ඒ සඳහා නැවුම් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව ද ඇමතිවරයා පෙන්වා දුන්නේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *