27 April 2024
#දේශීය

සජිත්ට විපක්ෂනායක අසුන සුදානම්… ආණ්ඩු පක්ෂයේ තනතුරු දන්වන්න – කථානායක

එලඹෙන 2020 ජනවාරී මස 03 දින 08 වන පාර්ලිමේන්තුවේ 04 වන සභාවාරය ආරම්භ වීම සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදු කිරීමට නියමිත බව කථානායක කාර්යාලය පවසයි.

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම අද (23) දින පෙරවරුවේ කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්විනි.

මෙහිදී සාකච්ඡා වී ඇත්තේ ජනාධිපතිවරයා විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප.ව 12.30 ට පක්ෂ නායක රැස්වීමක් කැදවීමට නියමිත අතර, එහිදී, 2020 ජනවාරී 07 දින සිට සභාවේ කටයුතු සිදුවන ආකාරය පිළිබද අවධානය යොමු කිරීම‍ට තීරණය වු බවයි. එසේම ජනවාරී මස 03 දින ප.ව 01.00 සිට ප.ව 06.00 දක්වා පාර්ලිමේන්තුව යලි රැස්වීමට අද දින පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කෙරුණු අතර, එහිදී නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීම සහ කථානායකවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස නිල වශයෙන් නිවේදනය කිරීම, මුලාසනයේ වෙනත් නිවේදන ඉදිරිපත් කිරීම අනුපිලිවෙලින් සිදු කිරිමට තීරණය කර ඇති බවයි.

ජනවාරී 03 දිනට පෙර පාර්ලිමේන්තුවේ සභානායක ධූරය හා ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයද තමාවෙත දැනුම් දීමට කටයුතු කරන ලෙස අද දින කථානායකවරයා රජය නියෝජනය කරමින් පක්ෂ නායක රැස්වීමට සහභාගී වූ නියෝජිතයන්ට දැනුම් දෙනු ලැබීය.

එසේම අද දින පක්ෂ නායක රැස්වීමේ දී පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැතිණි. එය මෙතෙක් අනුගමනය කල පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝනය කිරීමක් බව පොදුවේ පක්ෂනායක රැස්වීමේ පක්ෂ විපක්ෂ සියළු නියෝජිතයන්ගේ මතය විය. මේ පිළිබදව පොලිස්පතිවරයා ඇතුළු අදාල නිළධාරීන් කථානායකවරයා වෙත කැදවා දැනුවත් කිරීමට පියවර ගැනීමට තීරණය විය. එම අත්අඩංගුවට ගැනීමේ දී සිදුව ඇති ක්‍රියාවලිය පිළිබදව පොලිස් කොමිසන් සභාවේ අවධානය යොමු කිරීමට ද පක්ෂ නායකරැස්වීමේ දී තීරණය කළ බව කථානායක කාර්යාලය පවසයි.

මෙම රැස්වීම සඳහා කථානායකවරයා, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා, අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා, දිනේෂ් ගුණවර්ධන,මහින්ද අමරවීර,ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරු හා සජිත් ප්‍රේමදාස, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, රවි කරුණානායක, අජීත් පී පෙරේරා, මනෝ ගනේෂන් ,නිරෝෂන් පෙරේරා යන මහත්වරු ද එක් වුහ.

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *