සබරගමුව පළාතේ සංචාරක කර්මාන්තය ප්‍රවර්‌ධනය කිරීම සඳහා විශේෂ වැඩසටහනක් පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ. පළාත් සංචාරක අමාත්‍යාංශය, සබරගමුව විශ්වවිද්‍යාලය, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව ඇතුළු පළාත් පාලන ආයතන රැසක් එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනේ පළමු අදියර උඩවලව සංචාරක කලාපය ආශ්‍රිතව පැවැත්වී ඇත.
ඒ යටතේ උඩරට හා පහතරට නර්‌තනාංග ඇතුළු සංස්කෘතික අංග, දෙස් විදෙස් ආහාර පාන සහ අත්කම් නිර්මාණ ඇතුළත් ප්‍රදර්‌ශන කුටි පවත්වා ඇති අතර, අධ්‍යාපනික වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. රඹුක්කන, කිතුල්ගල සහ උඩවලව යන ප්‍රදේශවල සංචාරක කර්මාන්තය තවදුරටත් ව්‍යාප්ත කිරීම ද මෙම වැඩසටහන යටතේ සිදු කිරීමට නියමිතය.
උඩවලව ඇත් අතුරු සෙවණ, උඩවලව ජලාශය, මඩුවන්වල වලව්ව, සංඛපාල විහාරය සහ හුණුගල් ගුහා ඇතුළු සංචාරක ස්ථාන ප්‍රවර්‌ධනය කිරීමට ද මෙම වැඩසටහන යටතේ අවධානය යොමු කර තිබේ. සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිතව රැකියා අවස්ථා වැඩි කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් බව සඳහන් වේ.
















