27 April 2024
#දේශීය

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජුනි මාසයේ නිකුත් කරනවා – අධ්‍යාපන ඇමැති

මාර්තු මස 01වන දින සිට 10වන දින දක්වා පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මස වන විට ලබා දීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

එසේම ලබන ජූලි මාසයේ සිට එම දරුවන්ගේ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සැලසුම් සකස්කොට තිබෙන බව හෙතෙම පැවසිය.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ අද (22) නෙළුම් මාවතේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “අපේ ප්‍රධාන අරමුණ තමයි රටේ දූ දරුවන්ගේ වටිනා තරුණ කාලය අපතේ නොයැවීම. අධ්‍යාපන කටයුතු අඛණ්ඩ ව කරගැනීමට පුළුවන් වන පරිදි කෝවිඩ් 19 වසංගතය මධ්‍යයේ පැමිණෙන සියලු අභියෝගයන්ට මුහුණ දීමට අපි සූදානම් ව සිටිනවා. මාර්තු 01වන දින සිට 10වන දින දක්වා පැවැත්වෙන විභාගය සඳහා දිවයින පුරා අපේක්ෂකයන් 622,305ක් ඉදිරිපත් වන අතර මධ්‍යස්ථාන 4,513ක එය පැවැත්වීමට නියමිත යි. පාසල් අපේක්ෂකයන් 423,746ක් සහ පෞද්ගලික අපේක්ෂකයන් 198,606ක් පෙනී සිටීමට නියමිත අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542ක් සූදානම්කොට තිබෙනවා. ඒවගේ ම කෝවිඩ් 19 ආසාධිත අපේක්ෂකයන් සඳහා සෑම දිස්ත්‍රික්කයක ම විශේෂ මධ්‍යස්ථාන 02 බැගින් ස්ථාපිත කරලා තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයට එවැනි මධ්‍යස්ථාන ප්‍රමාණවත් නොවීමට ඉඩ තිබෙන නිසා ඊට වි‍ශේෂ විධිවිධාන සකසා තිබෙනවා. ඒ සම්බන්ධ ව විදුහල්පතිවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහතුන් සමඟ සාකච්ඡා කරලා දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිත කරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් සැලසුම් කරලයි තිබෙන්නේ.

මේ වනවිටත් සියලු ම පාසල්වලට අයදුම්පත්‍ර සියල්ල තැපැල් කරලා තිබෙන්නේ. පෞද්ගලික අපේක්ෂකයන්ට ඒවා ලැබී නොමැති නම් අපේ වෙබ් අඩවියට ගිහින් ඒ ප්‍රවේශපත්‍ර බාගත කරගන්න පුළුවන්. අපේ රටේ ප්‍රථම වතාවට අපේ රජය එහෙම පියවරකට ගිහින් තිබෙනවා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාව සඳහා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ඇතුළු පිරිසක් ද එක් වූහ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *