27 April 2024
#දේශීය

සුරැකුමපත් සම්බන්ධ අසත්‍ය පුවතක් ගැන මහ බැංකුව කරුණු පහදයි

අමෙරිකාවේ නිව්යෝර්ක් ෆෙඩරල් බැංකුව සමග යෝජිත ප‍්‍රති මිලදී ගැනුම් ගිවිසුමට අදාළව අමෙරිකානු ඩොලර් බිලියන 4.5 ක් වටිනා සුරැකුම්පත් ඇපයට තබා ශ‍්‍රී ලංකාව ඩොලර් බිලියනයක ණයක් ලබාගැනීමට යන බවට පළවන මාධ්‍ය  වාර්තා සහ පුුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන අතර එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ  අවශ්‍ය අවස්ථාවලදී එක්සත් ජනපද ඩොලර් ද්‍රවශීල අවශ්‍යතා සපුරා ගැනීමට යොදාගැනීමේ තාවකාලික මූලාශ‍්‍රයක් වශයෙන් අමෙරිකාවේ නිව්යෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුව සමග ඉකුත් දා ගිවිසුමකට එළඹුනු බවය.

ඒ, විදේශීය සහ අන්තර්ජාතික මූල්‍ය අධිකාරීන් සඳහා වූ එක්දින ප‍්‍රතිති මිලදී ගැනුම් පහසුකමක් වශයෙන් බවත් එම නිවේදනය සඳහන් කරයි.

එසේම ලොවපුරා බොහෝ මහ බැංකු සිය කෙටිකාලීන ඩොලර් ද්‍රවශීල අවශ්‍යතා සපුරා ගැනීමේ ක‍්‍රමවේදයක් ලෙස මෙම පහසුකම භාවිත කරන බවත්  සිය දීර්ඝ කාලීන විදේශීය විනිමය ආයෝජන කළඹ පිළිබඳ හදිසි ව්‍යූවහමය වෙනස්කම් සිදුකිරීමකින් තොරව අවශ්‍ය අවස්ථාවන්වලදී කෙටිකාලීන අරමුදල් අවශ්‍යතා සපුරා ගැනීමට මහ බැංකුවට එමගින් ඉඩ සැලසෙන බවත් එම නිවේදනය පවසයි.

එපමණක් නොව ඕනෑම අවස්ථාවකදී අදාළ පහසුකම්වලින් ඉවත්වීමේ අයිතිය ශ‍්‍රී ලංකා මහ බැංකු අභිමතය යටතේ පවතින බවත්  ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනය මගින් සඳහන් කර ඇත.

 ශ‍්‍රී ලංකා මහ බැංකුව ෆෙඩරල් සංචිත බැංකුව සමග මෙම ගිවිසුමට එළඹ සිටියද  කිසිඳු ණය ගැනීමක් තවමත් සිදුකර නොමැති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *