27 April 2024
#සංවර්ධන

”හදට හදක්” භාරකාර අරමුදලේ නව වෙබ් අඩවිය එළිදැක්වීම ජනපති ප්‍රධානත්වයෙන්

”හදට හදක්” භාරකාර අරමුදලේ නව වෙබ් අඩවිය එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (16) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේ දී සිදු විය. හදට හදක් භාරකාර අරමුදල හදවත් රෝගවලට ගොදුරු වී සිටින, එම සැත්කම් සදහා මුදල් සොයාගත නොහැකි ජනතාව වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ මූලිකත්වයෙන් පිහිටුවා ඇත.

ශ්‍රී ලංකාව හෘදය රෝග අවම රටක් බවට පත්කිරිම මෙම අරමුදලේ අරමුණ වන අතර හෘදය රෝග චිකිත්සක සේවාව දියුණු කොට එහි ගුණාත්මක බව ඉහළ නැංවීම තවත් අරමුණකි.

හදට හදක් අරමුදල පිළිබද තොරතුරු පහසුවෙන් දැනගැනීම සදහා මෙම වෙබ් අඩවිය ඛෙහෙවින් උපකාරී වන අතර මෙම අරමුදලේ ආධාර හෘදය රෝගින්ට ලබාගැනීම අයදුම් කිරීමේ පහසුකම ද ඉදිරියේ දී මෙම වෙබ් අඩවිය මගින් සැලසෙනු ඇත.

හදට හදක් ව්‍යාපෘතිය සදහා පරිත්‍යාශීලින් කිහිපදෙනෙකු විසින් සිදුකරන ලද පරිත්‍යාග මෙහි දී නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත භාරදීම සිදු විය.

වෛද්‍ය අතුල කහදලියනගේ, විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක, විශේෂඥ වෛද්‍ය රාජිත ද සිල්වා යන මහත්වරුන් ද හදට හදක් භාරකාර අරමුදලේ ජාතික සංවිධායක විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් ඩයස්, ජයවර්ධනපුර රෝහල් අධ්‍යක්ෂ එච්.එම්.බී. වික්‍රමනායක, නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රභාත් වේරවත්ත යන මහත්වරුන් ද, විද්වතුන්, කලාකරුවන් ඇතුථ සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *