ලෝක තෙල් වෙළඳාමෙන් 20%ක් සිදුවන උපායමාර්ගික හෝමුස් සමුද්‍ර සන්ධියේදී ඉරානය නෞකා තුනකට ප්‍රහාර එල්ල කර එයින් දෙකක් සිය භාරයට ගැනීමත් සමඟ කලාපීය නොසන්සුන්තාව යළි උත්සන්න වී තිබේ. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් ‘MSC Francesca’ සහ ‘Epaminondas’ යන නෞකා දෙක අත්අඩංගුවට ගෙන ඇති අතර ඇමරිකාව විසින් මීට පෙර ඉරාන නෞකා දෙකක් සිය භාරයට ගැනීමට ප්‍රතිචාරයක් ලෙස මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය හමුවේ පකිස්ථානයේ පැවැත්වීමට තිබූ දෙවන වටයේ සාකච්ඡාවලින් ඉරානය ඉවත් වීම නිසා දෙරට අතර පැවැත්වීමට තිබූ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ද අඩපණ වී තිබේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තාවකාලික සටන් විරාමය දීර්ඝ කළද, ඉරාන වරායන් ඉලක්ක කර ගනිමින් පනවා ඇති නාවික අවහිරතා ඉවත් කරන තෙක් කිසිදු සාකච්ඡාවකට තමන් සූදානම් නැති බව ටෙහෙරානය ප්‍රකාශ කර ඇත. පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන අපනයන කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ අඩාල වී ඇති අතර මෙය ගෝලීය බලශක්ති වෙළඳපොළට ද දැඩි බලපෑමක් එල්ල කරමින් පවතී. ගැටුම් සමනය කර සාමකාමී විසඳුමකට එළඹෙන ලෙස ජාත්‍යන්තර ප්‍රජාව ඉල්ලා සිටින නමුත් වර්තමාන තත්ත්වය අනුව රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් පිළිබඳ බලාපොරොත්තු අවම වෙමින් පවතින බව විචාරකයෝ පවසති.














