ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට පෙර ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබට් (Greg Abbott) විසින් පොදු ආරක්ෂක අරමුදල්වලින් ඩොලර් මිලියන 114ක් අත්හිටුවන බවට කළ තර්ජනය හේතුවෙන් හූස්ටන් (Houston) නගර සභාව සිය ආගමන විගමන නීති සංශෝධනය කිරීමට පසුගිය බදාදා (22) පියවර ගෙන තිබේ. මෙයට පෙර හූස්ටන් බලධාරීන් විසින් සම්මත කරගෙන තිබූ නීතියක් මගින් ෆෙඩරල් ආගමන විගමන නිලධාරීන් (ICE) සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සහ පිටුවහල් කිරීමේ වරෙන්තු මත පුද්ගලයන් රඳවා තබා ගැනීම සීමා කර තිබුණි.
ඇමෙරිකාවේ සිව්වන විශාලතම නගරය වන හූස්ටන්හි මෙම සීමා කිරීම් ඉවත් කරන ලෙස ආණ්ඩුකාරවරයා දැඩි බලපෑම් එල්ල කළේ ඉදිරි ගිම්හානයේදී එහි පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරඟාවලියේ ආරක්ෂාව පිළිබඳව පවසමිනි. කෙසේ වෙතත්, මෙම නව සංශෝධනය සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරීන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති අතර ඔවුන් පෙන්වා දෙන්නේ දේශපාලන තර්ජන හමුවේ මානුෂීය අයිතිවාසිකම් ආරක්ෂා කරන නීති වෙනස් කිරීම කණගාටුදායක තත්ත්වයක් බවයි. මෙම තීරණයත් සමඟ හූස්ටන් පොලිසියට යළිත් ෆෙඩරල් බලධාරීන් සමඟ ආගමන විගමන කටයුතු සම්බන්ධයෙන් පූර්ණ සහයෝගයෙන් කටයුතු කිරීමට මගපෑදෙනු ඇත.














