27 April 2024
#දේශීය

ලබන මාස 03 ඇතුලත උපාධිධාරින්ට රැකියා

උපාධිධාරීන් සඳහා 54000 ක් සඳහා රැකියා ලබාදීමට ඉදිරි මාස 03 ඇතුළත සැලසුම් ක්‍රියාත්මක කරන බව රජය පවසයි.

රජයේ මාධ්‍ය ප්‍රකාශකවරුන් විසින් අද (22) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ පවසා සිටියේ රාජ්‍ය ආයතන වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට කටයුතු සම්පාදනය කරන බවයි.

එහිදී රජයේ මාධ්‍ය ප්‍රකාශක විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා කියා සිටියේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා රැකියා ලක්ෂයක් ලබාදීමට මේ වන විට පියවර ගනිමින් සිටින බවයි. රැකියා අපේක්ෂා කරන අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයින්ට මේ සඳහා පුවත්පත් දැන්වීම් මගින් පළ කර ඇති අයදුම්පත් ග්‍රාම නිලධාරි මගින් ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කළ යුතු බව හෙතෙම ප්‍රකාශ කළේය.

වතු කම්කරුවන් සඳහා දෛනික වැටුප මාර්තු මස පළමුවන දින සිට රු.1000 දක්වා වැඩිකිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

රජයේ මාධ්‍ය ප්‍රකාශක සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ තම රජය පාලන බලය ලබාගෙන පැය 72ක් ඇතුළත සුළු අපනයන බෝග ප්‍රතිඅපනයනය නතර කිරීමට පියවර ගත් බවයි.

එසේම විශාල වශයෙන් බදු අඩු කිරීමට පියවර ගත් බවත්, නව විදේශ ආයෝජන ලබා ගැනීමට SDP වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම මේ වන විට රාජ්‍ය ආයතන වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට කටයුතු සම්පාදනය කරන බවත් ජනාධිපතිවරයා මේ කටයුතු පුද්ගලිකවම නිරීක්ෂණය කරන බවත් හෙතෙම පෙන්වා දුන්නේය. උපාධිධාරීන් සඳහා 54000 ක් සඳහා රැකියා ලබාදීමට ඉදිරි මාස 03 ඇතුළත සැලසුම් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *