27 April 2024
#පුවත් #සංවර්ධන

යල කන්නයේ බඩඉරිඟු වගාවට SAPP ව්‍යාපෘතියෙන් රුපියල් බිලියන 04ක් – කෘෂි ඇමැති මහින්ද

2024 යල කන්නයේ දී බඩඉරිඟු වගා කිරීම සඳහා රුපියල් බිලියන 04ක මුදලක් වෙන් කිරීමට කුඩාපරිමාණ කෘෂිව්‍යවසායකත්ව වැඩසටහන (SAPP) විසින් පියවර ගෙන ඇති බව කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (25) කසාගල ප්‍රදේශයේ බඩඉරිඟු වගාව නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

කුඩාපරිමාණ කෘෂිව්‍යවසායකත්ව වැඩ සටහන (SAPP) විසින් සපයන ලද සහන මත හම්බන්තොට දිස්ත්‍රික්කයේ පසුගිය මහ කන්නයේ දී අක්කර 5000ක බඩඉරිඟු වගා කරනු ලැබීය. දැනට බොහෝ ප්‍රදේශවලින් සේනා දළඹු වසංගත තත්ත්වය බඩඉරිඟු වගාව ආශ්‍රිතව වාර්තා වෙතත් කසාගල ප්‍රදේශයේ බඩඉරිඟු වගාව ඉතාමත් සාර්ථකව සිදු කෙරෙන බව අමාත්‍යවරයා නිරීක්ෂණය කළේය.

2023 මහ කන්නයේ අක්කර 40,000ක බඩඉරිඟු වගා කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය විසින් රුපියල් බිලියන 10ක මුදලක් වැය කර ඇත. බඩඉරිඟු වගාව සඳහා අවශ්‍ය බීජ බඩඉරිඟු, පොහොර සහ බිම් සකසා ගැනීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සියල්ල නැවත අයකර නොගන්නා පදනම යටතේ ගොවීන්ට ලබා දීමට පියවර ගත්තේය.

අනුරාධපුර, හම්බන්තොට, බදුල්ල, අම්පාර හා මොණරාගල දිස්ත්‍රික්කවල ගොවීන්ට බඩඉරිඟු වගා කිරීම සඳහා මෙම පහසුකම් ලබා දීමට පියවර ගත්තේය.

මේ අයුරින්ම මෙවර යල කන්නයේ ද බඩඉරිඟු වගා කිරීම සඳහා ගොවීන්ට අවශ්‍ය සහන සලසන ලෙස කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව වැඩ සටහනට උපදෙස් දුන්නේය.

මෙවර යල කන්නයේ දී බඩඉරිඟු වගා කිරීම සඳහා රුපියල් බිලියන 04ක මුදලක් වෙන් කරන ලෙස තමන් කුඩාපරිමාණ කෘෂිව්‍යවසායකත්ව වැඩ සටහනට (SAPP) උපදෙස් දුන් බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මේ අතර මෙවර දිවයින පුරා බඩඉරිඟු අක්කර 80,000ක් වගා කර ඇති අතර ඉන් බඩඉරිඟු මෙට්‍රික් ටොන් 350,000ක අස්වැන්නක් අපේක්ෂා කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

නමුත් පසුගිය මාස හතරක කාලයක් තුළ පෑවති අධික වර්ෂාව හා හිරු එළිය නිසි පරිදි නොලැබීම හේතුවෙන් බඩඉරිඟු ශාක වර්ධනයට එමගින් බලපෑම් එල්ල වී ඇති බව ද බඩඉරිඟු සම්බන්ධව කටයුතු කරන බෝග නායකවරයා සඳහන් කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *