27 April 2024
#දේශීය #පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට පැමිණෙන ජනතාව රස්තියාදු නොකර කඩිනමින් සේවය කරන්න – ඇමැති ප්‍රසන්න

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සේවා ලබාගැනීමට පැමිණෙන ජනතාව රස්තියාදු නොකර ඔවුන්ට අවශ්‍ය සේවය කඩිනමින් ලබා දෙන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා කියා සිටින්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාලවල පවතින ප්‍රමාදයන් සම්බන්ධයෙන් විවිධ පැමිණිලි ලැබී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයක් යොමු කර ඇති බවත්, එලෙස ජනතාව රස්තියාදු කරවන නිළධාරීන්ට එරෙහිව අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇමතිවරයා සදහන් කළේය.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලයට පසුගියදා හදිසියේ පැමිණි අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා “මෙම අමාත්‍යංශය රටේ ප්‍රධානතම අමාත්‍යංශයක්. මේ අමාත්‍යංශය මම භාර ගත්තේ රටේ ආර්ථික අර්බුදයක් තිබුණු වෙලාවේ. ආයතනයක සේවකයින්ගේ රැකියා සුරක්ෂිතබව ඇතිවෙන්නේ ආයතනයේ පැවැත්ම මතයි. ආයතනවලට අපි පත්කරන සභාපතිවරුන්ගේ වගකීම තමයි ආයතනයේ උන්නතිය සදහා කටයුතු කිරීම. අපි මෙම අමාත්‍යංශය භාර ගන්න විට ඒ යටතේ ඇති ආයතන වලින් ආයතන 8 ක් පමණ වසා දමන තත්වයට පත්ව තිබුණා. පසුගිය කාලයේ ඇතැම් දිස්ත්‍රික්කවල දහස් ගණනින් සේවකයින් බදවා ගෙන තිබුණා. එහෙම වුණාම ඒක ආයතනයට බරක්. අපි පඩි නඩි ගෙවන්නේ ජනතාවගේ මුදල් වලින්. ආයතනයේ සේවකයින්ට ස්වාධීනව වැඩ කරන්න අපි අවස්ථාව සලසා දිය යුතුයි. ඒ වගේම පවතින චක්‍ර ලේඛන ලිහිල් කරලා ජනතාවට සේවය කරන්නත් අවකාශය අපි ලබා දිය යුතුයි. චක්‍ර ලේඛ ඉදිරියට දාලා වැඩ නොකර ඉන්නවා නම් අපි ඒකට තදින් ඉන්නවා. ඒ වගේම වැඩ කරන කෙනෙක්ගෙන් යම් වැරැද්දක් වුනත් අපි ඒකට සමාව දිය යුතුයි. අපි සේවකයින්ගේ සුබසාධනය වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කරනවා. මෙම ආයතනයට හොද පළපුරුදු සභාපතිවරයෙක් ලැබිලා තිබෙනවා. පසුගිය කාලයේ මෙම ආයතනය තිබුණේ අපිට පඩි ගෙවා ගන්නත් බැරි තත්වයකයි. නමුත් අද වන විට ආයතනය ස්ථාවර මට්ටමකට ගෙනත් තිබෙනවා. කොවිඩ් සහ ආර්ථික අර්බුදය නිසා අපිට පසුගිය වසර තුන තුළ නිසියාකාරව සංවර්ධන කටයුතු කරන්න බැරි වුණා. ඒ නිසා මෙම වසර තුළ ජනතාව වෙනුවෙන් විශාල සංවර්ධන වැඩ කොටසක් කරන්න අපි සුදානමින් ඉන්නවා. හැමවෙලේම අපි දින වකවානු සමග කටයුතු කළ යුතුයි. නිවැරදිව ඉලක්ක වෙත අපිට යන්න පුළුවන් වෙන්නේ එවිටයි. අපි ළගට එන කෙනෙක්ට දෙපාරක් අපි ළගට එන්න ඉඩ තියන්න හොද නැහැ. පුළුවන් නම් කරලා දෙන්න ඕනි. බැරි නම් කෙලින්ම ඒක කියන්න ඕනි. ජනතාව බොරුවට රස්තියාදු කරන්න හොද නැහැ. අපි හරියට වැඩේ කළොත් තමයි රාජ්‍ය සේවය ගැන ජනතාව සතුටු වෙන්නේ. එහෙම කරන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ” යැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසිය.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එස්. සත්‍යානන්ද, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි, එහි මාතර දිස්ත්‍රික් කළමණාකරු ශ්‍රියානි මල්ලිකා යන මහත්ම මහත්මීන් ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගි වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *