27 April 2024
#සංවර්ධන

යල කන්නයේ කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 05ක් වගා කිරීමේ සුදානමක්

මෙවර යල කන්නයේදී කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 05ක් වගා කිරීමට තම අමාත්‍යාංශය අපේක්ෂා කරන බවත්,ඒ සඳහා අවශ්‍ය වන පොහොර මාර්තු අග වන විට ගබඩා කර තබන්නැයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා ලක් පොහොර සමාගමේ සභාපති සෝමචන්ද්‍ර ජයකොඩි මහතාට දැනුම් දීමක් කර තිබේ.

යල කන්නය සඳහා පොහොර අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂයක් බවත්,මේ වනවිටත් ලක් පොහොර සමාගම යුරියා මෙට්‍රික් ටොන් 16,000ක්, මඩ පොහොර මෙ.ටො. 11,000ක්, බණ්ඩි පොහොර මෙ.ටො.4000ක් තම ගබඩාවේ තොග පවතින බවත්, මේ මාසය නිම වන්නට පෙර චීනය,රුසියාව,ඉන්දුනීසියාව සහ කටාර් රටවලින් තොග ආනයනය සිදු කරන බව සභාපතිවරයා පැවසීය.

මේ වෙනුවෙන් බිලියන 09ක මුදලක් තම පොහොර සමාගම දරන බවත්, යල කන්නය සඳහා යූරියා මෙ.ටො. 47,000ක් ද කොමර්ෂල් පොහොර සමාගම යූරියා මෙ.ටො. 28,000ක්ද ඇනවුම් කර ඇති බව ඒ මහතා කියා සිටියේය.

මෙවර මහ කන්නය හෙක්ටයාර් ලක්ෂ 08ක් වගා කර ඇති අතර යූරියා භාවිතය පිළිබඳව ද සභාපතිවරයා පැහැදිලි කරමින් කියා සිටියේ වැඩිම යූරියා භාවිතයක් ඇත්තේ පිළිවෙලින් අනුරාධපුර දිස්ත්‍රික්කය මෙ.ටො.27,000ක් ද, අම්පාර යූරියා මෙ.ටො.22,000ක් ද,කුරුණෑගල මෙ.ටො.21,000 ද, පොළොන්නරුව මෙ.ටො. 19,500 ද, මඩකලපුව 14,000ක් ද වශයෙන් ලක් පොහොර සමාගම මඟින් පොහොර ගොවීන් වෙත ලබා දී ඇති බවයි.

රජයේ පොහොර සමාගම් වන ලක් පොහොර සමාගම පොහොර අවශ්‍යතාවය 60%ක් ද, කොමර්ෂල් පොහොර සමාගම 40%ක අවශ්‍යතාවය ද සපුරාලයි.මේ වෙනුවෙන් රජය රුපියල් බිලියන 32ක් දරන බව සභාපති සෝමචන්ද්‍ර ජයකොඩි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *